කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කැපවුණු උතුම් මිනිසුන්

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කැපවුණු උතුම් මිනිසුන්

December 5, 2020   11:22 pm

සාමාන්‍ය රෝගීන්ට මෙන් නොව කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුහුණදෙන ඉතාමත් අවදානම් කටයුත්තකි.

තම ජීවිත අවදානම පවා නොතකා ඔවුන් සිදුකරන කැපවීමේ නොදුටු පැත්තකි මේ.

ගෝලීය වසංගතයක් වන කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාව තුළ දෙවන රැල්ලක් ලෙසින් ව්‍යාප්තවීමත් සමඟ යටිතල පහසුකම් දියුණු කිරීම මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඊට අනුගතකිරීමට බලධාරීන්ට සිදුවුණි. 

ඒ අනුව සාමාන්‍ය රෝහල් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්වෙද්දී සෞඛ්‍ය කාර්ය මණ්ඩල විශේෂ පුහුණුවීම්වලට යොමුකෙරුණි. 

ඉංගිරිය ප්‍රාදේශීය රෝහල එසේ වෙන්කළ එක් ස්ථානයකි. 

එහි කොවිඩ් වාට්ටු දෙකක් ස්ථාපිත කර ඇත්තේ, අනෙකුත් ප්‍රතිකාර සේවා ද සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමිනි.

ඉංගිරිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන හෙද නිලධාරී, උපුල් ලංකාතිලක පැවසුවේ, "මේක කොරෝනා රෝහලක් කරද්දි අපිට මුලින් චකිතයක් ආවා. අපි කීපදෙනෙකුව IDH රෝහලට යවලා පුහුණු කළා. එයාලගේ බය නැතිවුණා. මේක ටීම් වර්ක් එකක්. අපි සතුටින් වැඩ කරගෙන යනවා".

"අපි IDH ගිහින් පුරුදු වෙලා ආවා. කොවිඩ් රෝහලක් බවට පත්කරපු මුල් දවස් ටිකේ ගෙදර ගියේ නැහැ. දැන්නම් දිනපතා යනවා එනවා. බය නැතුව රෝහලට එන්න," එසේ පැවසුවේ ඉංගිරිය ප්‍රාදේශීය රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයෙක් ලෙස සේවය කරන රසික නන්දිත මහතා ය. 

ඉංගිරිය රෝහලේ එලෙස වාට්ටු වෙන්වෙද්දී හෝමාගම මූලික රෝහල සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගීන්ට වෙන්කෙරුණි. 

ඇඳන් දහයකින් යුත් දැඩි සත්කාර ඒකකයේ දැනටමත් කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු ප්‍රතිකාර ලබයි.

වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි සුපරික්ෂාරීව එම රෝගීන් ගැන සොයා බලයි. 

එහි සිටින සෞඛ්‍ය නිලධාරීන් පැය 24 පුරා මෙලෙස විශේෂ ඇඳුමකින් සැරසී සිටිම පහසු කටයුත්තක් නොවේ. 

හෝමාගම මූලික රෝහලේ හෙද නිලධාරිනි, නදීෂා අමරසිරි පැවසුවේ, "පීපීඊ එකක් ඇන්ඳම හුස්ම ගන්න අමාරුයි. ඉස්සරහා පේන්නේ නැතුව යනවා. ටිකක් වෙලා යද්දි කලන්තේ වගේ එනවා", යනුවෙනි.

කොවිඩ් රෝගීන්ගේ ජීවිතය රැකගැනීම වෙනුවෙන් කැපවී සේවය කරන සෞඛ්‍ය නිලධාරීන් අගය කළ යුතු වුවත් ඒ වෙනුවට ඔවුන්ට ලැබී ඇත්තේ මෙවන් ප්‍රතිචාරයකි.

"අපි හුඟාක් කැපවීමෙන් වැඩ කරනවා. නමුත් අපි එළියට ගියාම අපිට සළකන්නේ කොවිඩ් රෝගින්ට වගේ. අගය කිරීමක් නැහැ".

"කොවිඩ් වාට්ටුවක වැඩ කරනවා කිව්වම අපිව පිළිගන්නේ නැහැ. මගේ ළමයා ප්‍රයිවට් කැම්පස් එකක. අපේ ළමයට විතරක් ඔන්ලයින් උගන්වන්නම් කිව්වා. එතකොට හරි වේදනාවක්. අපි යද්දි රෝහල ළඟින් ත්‍රීවිල් එකක්වත් නවත්වන්නේ නැහැ".

ඔවුන්ගේ එම කැපවීම නොවන්නට ඔබ , අප අද මෙලෙස සාමාන්‍ය ජීවිත ගත නොකරන්නට ඉඩ තිබුණා  නොවේද ?