පළාත් කිහිපයකින් හමු වූ කොවිඩ් ආසාදිතයින්

පළාත් කිහිපයකින් හමු වූ කොවිඩ් ආසාදිතයින්

December 1, 2020   09:42 pm

හුදකලා තත්ත්වයට පත්කර තිබෙන බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ 600 දෙනෙකුව ක්ෂණික ප්‍රතිදේහජනක සහ පීසීආර් පරීක්ෂණවලට අද (01) යොමු කෙරුණි.

350 දෙනෙකුගේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින්  40 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කළේය.

මහනුවර බෝගම්බර ප්‍රදේශයෙන් නව ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගැනීමත් සමග දක්වා එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 12 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් මහනුවර මහනගර සභාවට අයත් බෝගම්බර කලාප කාර්යාලය තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා සඳහන් කළේය.

බගවන්තලාව බොගවාන ලින්ස්ටඩ් වතුයායේ එකම පවුලේ පස්දෙනෙකු ඇතුළු හයදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනාම බම්බලපිටියේ සිට වතුකරයට පැමිණි මුල් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් වේ.

ආසාදිතයින් අතර බගවන්තලාව සෙන් මේරිස් දෙමළ මහ විද්‍යාලයේ සිසුවෙකුද වූ බැවින් සිසු සිසුවියන් 11 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

මේ අතර ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් නව ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගැනීමත් සමග එම කොට්ඨාසයෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 102ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් බහුතරයක් දිවුරුම්පිටිය ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්ය.

එම ඇඟලුම් ආයතනයේ පීසීආර් පරීක්ෂණ වාර්තා 500ක් පමණ ලැබීමට නියමිත බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.