කොවිඩ් හෙළ ඔසුව ගැන පාර්ලිමේන්තුව දැනුවත් කෙරේ

කොවිඩ් හෙළ ඔසුව ගැන පාර්ලිමේන්තුව දැනුවත් කෙරේ

November 30, 2020   08:30 pm

කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව දේශීයව නිශ්පාදනය කළ ඖෂධය පිළිබඳ වැඩිදුර පරික්ෂණ කිරීමට තවදුරටත් බටහිර වෛද්‍යවරුන්ගේ සහාය අපේක්ෂා කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

“අද දෙරණ“ ඊයේ (29) රට හමුවේ අනාවරණ කළ එම ඖෂධය පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව ලොව පුරා පරියේෂණ සිදුවන පසුබිමක මෙරට තුළද සිදුවන එවැනි පර්යේෂණයක් පිළිබඳව “අද දෙරණ“ ඊයේ රටට අනාවරණය කළේය.

කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමත් සමත් වී තිබුණි.

දින තුනක් ඖෂධ ලබා දීමෙන් පසු සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් අනතුරුව රෝගීන්ගේ සිරුරෙන් 100%ක් කොවිඩ් වෛරසය විනාශ වන බව පළමු පරීක්ෂණයෙන් සහ දෙවන පරීක්ෂණයවලින් තහවුරු කර ගැනීමට එම වෛද්‍යවරුන්ට හැකි විය.

එවැනි පසුබිමක මෙම පර්යේෂණය පිළිබඳව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුරුවේද රෝහල් සංවර්ධන හා ප්‍රාජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද (30) පාර්ලිමේන්තුවද දැනුවත් කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු සිසිර ජයකොඩි මහතා,

“ඊයේ දවසේ අපි දැක්වු ‘දෙරණ‘ රූපවාහිනිය නාලිකාවේ විශේෂයෙන් අරණායක ප්‍රදේශයේ සිටින බණ්ඩාර වෙදමහතාගේ සොයා ගැනීම පිළිබඳව ගරු උදය කාන්ත මැතිතුමා සමග එම වෛද්‍යවරයා පිළිබඳ තොරතුරු ලැබුණ වහාම අපි සතියකට පෙර වෛද්‍යවරයා මුණගැසුණා. විශේෂයෙන්ම ඒ පිළිබඳ සායනික අධ්‍යයනයක් වතුපිටිවල රෝහලේ බටහිර වෛද්‍යවරුන් සිදුකරනු ලැබුවා. ඒ නිසා ඒ වෛද්‍යවරුන්ව අපි අගය කරනවා. ඒ වගේම ඒ වෛද්‍යවරුන්ට හානිකර කිසිදු දෙයක් කරන්න කටයුතු නොකරන්න කියන ඉල්ලීම මේ වෙලාවේ කරන්නත් අපි අවස්ථාවක් කර ගන්නවා. ඒ නිසා දේශීය වෙදකමත් බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ දැනුමත් පර්යේෂණ මාර්ගයෙන්, උපකරණත් තාක්ෂණය උපයෝගි කර ගනිමින් සම්බන්ධ කරගත් වැඩපිළිවලකින් තමයි අපේ රටට යහපත ජයග්‍රහණය ඉදිරියට ගෙන යන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා.“

මේ අතර පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ද මේ පිළිබඳ මෙලෙස අදහස් පළ කළේය.

“වෛද්‍ය අධිකාරී චූලා බණ්ඩාරත් ඒ වගේම කොවිඩ් ප්‍රවර්ධන ඒකකය භාර වෛද්‍ය ධම්මික කුමාරත් යන වෛද්‍යවරු දේශය ඔසුවක් හඳුන්වා දුන්නා කියලා ඊයේ දෙරණ ප්‍රවෘත්තිවලට වාර්තා කළා. ඒ ප්‍රවෘත්තියෙන් පස්සේ වෛද්‍ය ධම්මික කුමාරව එම තනතුරෙන් ඉවත් කරලා කියලා අපිට දැනගන්න ලැබුණා. මං හිතන්නේ මුළු ලෝකයම අද ජනතාව බේරගන්න උත්සහ ගන්නකොට මට තේරෙන්නේ නෑ ඇයි ලංකාව අඩියක් පස්සට තියන්නේ කියලා.“

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධයක් අත්හදා බැලීම සම්බන්ධයෙන් අද (30) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“මම හිතන්නේ ඊයේ ජනමාධ්‍ය වාර්තා කළා ඔය සිද්ධිය. මේ කොවිඩ් සම්බන්ධයෙන් යම් සාර්ථක ප්‍රතිඵලයක් යම් අයෙකුට ගන්න පුළුවන් නම් ඒක විද්‍යාත්මකව තහවුරු වෙනවා නම්, ඒ ක්‍රමවේදය ආයුර්වේද වෛද්‍යකර්මය තුළ සිදුකිරීම සම්බන්ධයෙන් බටහිර වෛද්‍යවරු විදියට අපේ කිසිදු ගැටළුවක් නෑ. “

ප්‍රශ්නය - හැබැයි මේ කොවිඩ්වලට හොයා ගත්ත දේශීය වෛද්‍ය මෙච්චරම සාර්ථක වුණ පළමු බෙහෙත?

“ඒ ගැන ජනමාධ්‍යයෙන් තමයි තහවුරු වුණේ, ඒ අධ්‍යයන පත්‍රිකා සම්බන්ධයෙන් අපි විශ්ලේෂණයක් කරන්නේ නැතුව හරි උත්තරයක් දෙන්න බෑ. මේ ප්‍රතිඵලය මුළු රටට විතරක් නෙමෙයි මුළු ලෝකයටම ඉතාමත් වැදගත් පරීක්ෂණයක් වෙයි සාර්ථක වුණොත්. අපේ මට්ටම තුළ දෙන්න පුළුවන් සහයෝගයක් මේ ක්‍රියාවලියට අද අපි විධායක සභාව තුළත් කථා කරන්න බලාපොරොත්තු වෙනවා.“