ශානි අබේසේකරට CIDයෙන් කැඳවීමක්
January 21, 2020 04:39 pm
පසුගිය දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ගැනීම සඳහා රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර ඇත.
අද දෙරණ අධිකරණ වාර්තකාරු පැවසුවේ මේ මස 23 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදුකර ඇති බවයි.
එම විමර්ශනවලදී අනාවරණය වූ දුරකථන ඇමතුම් පිළිබඳව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසිය හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට මෙලෙස කැඳවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තීරණය කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පිටව යාමට පෙර විනාඩි 09 ක පමණ කාලයක් ගුවන්තොටුපලේදී එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා සමග දුරකතන සංවාදයක නියැලී සිට ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිදුවීම සිදුවූ බව පැවසෙන කාලසීමාව තුල ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්, ලේක්හවුස් කාර්යාලයේ සේවය කළ දරීශා බැස්ටියන්, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා , ලේක්හවුස් සභාපති ක්‍රිෂාන් කුරේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ශානි අබේසේකර යන අය අතර දුරකතන සබඳතා ජාලයක් නිරීක්ෂණය වන බවයි.
පසුව නොවැම්බර් මස 21 වනදා ලේක්හවුස් කාර්යාලයේ සේවය කළ දරීශා බැස්ටියන් ස්විට්සර්ලන්තය වෙත පිටව ගොස් ඇති බවත් නොවැම්බර් මස 24 වනදා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තය වෙත පිටව ගොස් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
එමෙන්ම ලේක්හවුස් සභාපති ක්‍රිෂාන් කුරේ 2019 දෙසැම්බර් 05 වනදා ස්විට්සර්ලන්තය වෙත පිටව ගොස් ඇති අතර ඔවුන් කිසිවෙක් ඉන් පසු මෙරටට පැමිණ නැති බවද විමර්ශකයින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවේය.
විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර කරුණු වාර්තා කිරීම සඳහා මෙම නීතී කෘත්‍ය පෙබරවාරි මස 11 වනදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.