වන අලි පහරින් ගොවියෙක් ජීවිතක්ෂයට

වන අලි පහරින් ගොවියෙක් ජීවිතක්ෂයට

January 21, 2020   10:15 am

ආඩිගම - නාගවිල ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දීමෙන් ගොවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අද(21) අළුයම 1.00 ට පමණ මෙම වන අලි ප්‍රහාරය එල්ල වී තිබේ.

වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ නාගවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ගාමිණී ගුණවර්ධන (අවු:65) නම් වූ අවිවාහක අයෙකි.

මෙම පුද්ගලයා තම හිතවතෙකුට අයත් ඉඩමක වට්ටක්කා වගාවක් කරගෙන ගොස් ඇත.

එම වගාව රැක ගැනීම සඳහා ආසන්නයේ කුඩා පැලක් සාදා ගෙන ඔහු එහිම පදිංචිව සිට තිබේ.

රාත්‍රී කාලයේ පැමිණ ඇති වන අලියා දැක ඔහු තමා සිටි ස්ථානයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ප්‍රහාරය එල්ල වූ බව සිද්ධිය ඇසින් දුටු ඒ ආසන්නයේ සිටි අයෙක් පැවසීය.

පසුව ගම්වාසීන් එක්ව වන අලියා පලවා හැර 1920 ගිලන් රථ සේවය කැඳවීමට කටයුතු කර ඇත.

ඒ වන විටද ප්‍රහායට ලක්වූ පුද්ගලා ජීවිතක්ෂයට පත්ව සිට තිබේ.

තම ප්‍රදේශයට මීට පෙර වන අලින් පැමිණ තිබුනත් කිසිවෙකුට පහර දී මරුමුවට පත් කර නොමැති බව ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජේ.ඒ.ජානක මහතා පැවසීය.

ගම්වැදී ඇති වන අලින් පලවා හැරීමට කිසියම් කටයුත්තක් සිදු කරන ලෙසද ඔවුන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමක් කරයි.