එජාප නායකයාට පක්ෂයෙන් ඉවත් වෙන්න සතියක කාලයක්

එජාප නායකයාට පක්ෂයෙන් ඉවත් වෙන්න සතියක කාලයක්

December 3, 2019   06:55 pm

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට  කඩිනමින් විපක්ෂ නායක ධුරය ලබාදෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවසේදී  එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්විය.

මෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සූජීව සේනසිංහ මහතා පවසා සිටියේ, විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් යම් තීරණයකට පැමිණ ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසා සිටියේ, බ්‍රහස්පතින්දා දිනයේ දී එක්සත් ජාතික පෙරමුණේ හා පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡා කර සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉටුකළ හැකි යුතුකම ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වු බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසා සිටියේ විපක්ෂනායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

 නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ, විපක්ෂනායක ධුරය ගැන ඇති අර්බුදය විසඳීම සඳහාත් පාර්ලිමේන්තුව රැස්විය යුතු බවයි.

රටේ ප්‍රශ්න කථා කරන්න ඇති හොඳම තැන පාර්ලිමේන්තුව බවත්, එය කල්දැමීම තුළින් රටේ ප්‍රශ්නවලින් පැන යෑමක් සිදුවෙන බව හැඟී යන බවත් මන්ත්‍රිවරයා පැවසීය.

මේ අතර විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුව පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ගෞරවනීය ලෙස අලුත් පරපුරට එම වගකීම් බාර දී එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙවර අවසන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

තමාට ලැබී ඇති තොරතුරු මත රනිල් වික්‍රමසිංහ මහතා සිය වගකීම් අවසන් කරමින් ධූරයෙන් ඉවත් වීමට සුදානම් බව දැන ගැනීමට ලැබී ඇති බවත් එයට සුබ පතන බවත් අජිත් පී පෙරේරා මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුවට එක්වු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ, තම පක්ෂයට මාර්ගෝපදේශයන් උවමනා වී ඇති බවයි.

මේ වන විට පාර වැරදි ඇති බවත් පැවසු මන්ත්‍රිවරයා, නිවැරදි මාර්ගයට වාහනය දමා ගෙන එක්සත් ජාතික පක්ෂය ඉදිරියට රැගෙන යා යුතු බවත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායක ධූරය යන දෙකම සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, කල්ලි දෙකක් පක්ෂය තුළ නොමැති බවයි.

එනිසා සජිත් ප්‍රේමදාස මහතාගේ කල්ලියේ කියා තමන් ප්‍රමුඛ මන්ත්‍රිවරුන් කොන් කරත් තමා තවමත් යුඑන්පී කල්ලියේ බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මේ අතර නලීන් බණ්ඩාර මහතා පවසා සිටියේ, පක්ෂය අලුත් වීමට “අපි සුදුසු නැත්නම් අපි හරි ඉවත් කරලා “ හොඳ ටීම් එකක් සමඟ ඉදිරියට යෑම ජනතාව බලාපොරොත්තුව බවයි.

එයට මේ සතිය පමණක් ලබා දෙන බවත් පැවසු ඒ මහතා, පක්ෂයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතු බවත් පැවසීය.

මෙම තත්ත්වය තවදුරටත් බලා සිටිය නොහැකි බවත් පැවසු ඒ මහතා, මෙය උප්පරවැට්ටියක් බවත් මෙය පිටුපස රාජපක්ෂවරු සිටින බවත් කියා සිටියේය.

ප්‍රශ්නය - 
සිරිකොතෙත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඔබතුමාලට ඒකට ආරාධනා කරලා නැද්ද?

හරීන් ප්‍රනාන්දු - එක්සත් ජාතික පක්ෂය තුළ පොඩි පොඩි අර්බුද සැමදා තිබු බවත් පැවසු මන්ත්‍රීවරයා මෙම අර්බුදයන්ට ඉක්මන් විසදුමක් අවශ්‍ය බවත් පැවසීය.

ඒ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු මහාවිහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව වික්‍රමසිංහ මහතා අස්ගිරි මහාවිහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් බැහැදුටුවා.

කෙසේවෙතත් මහානායක හිමිවරුන් හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡා අවරණය කිරිමට මධ්‍යයට අවස්ථාව හිමි වුණේ නැහැ.