තම දියණිය ගැබිණියක් කළ තිදරු පියා රිමාන්ඩ්

තම දියණිය ගැබිණියක් කළ තිදරු පියා රිමාන්ඩ්

October 17, 2019   11:15 am

තම බාලවයස්කාර 14 වියැති දියණිය බලහත්කාරයෙන් දූෂණය කිරීමේ චෝදනාව සැකපිට මස්කෙළිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් එම දැරියගේ පියා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාමන් ට්‍රොස්කි මහතා හමුවට පමුණුවනු ලැබීමෙන් අනතුරුව මෙම මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බාරයට පමුණුවනු ලැබුවේ, මස්කෙළිය, බ්‍රවුන්ලෝ තේ වතුයායේ පදිංචි 43 හැවිරිදි තිදරු වතු කම්කරුවෙකි.

දින කිපයක් තිස්සේ තමන්ට උදරා බාධයක් පවතින බවත්, මාසික ඔසප්වීම සිදු නොවුණ බවත්, මෙම දැරිය තම මවට ඉකුත් 14 වන දා  පැවසීමෙන් අනතුරුව දැරියගේ මව විසින් දැරියට ප්‍රථිකාර ගැනීම සඳහා දික්ඔය මූලික රෝහල වෙත ගොස් තිබේ.

එහිදී සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණවලදී මෙම දැරිය දෙමස් ගැබිණියක් බවට අනාවරණය වි ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන  මස්කෙළිය පොලීසිය පවසයි.

දික්ඔය රෝහල මගින් මෙම සිද්ධිය මස්කෙළිය පොලිසියට වාර්තා කිරීමෙන් අනතුරුව කළ පරීක්ෂණවලදී මෙම දැරිය පොලීසියට පවසා ඇත්තේ, තම පියා නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ දැනට මාස 03 කට පමණ පෙර අවස්ථා කිපයකදී තමන් බලහත්කාරයෙන් දුෂණය කළ බවයි.

ඒ අනුව මස්කෙළිය පොලීසිය මඟින් දැරියගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇත. 

දැරිය දනට දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් පසු වන්නීය. 

මෙම දැරිය 09 වන වසරේ ඉගෙණුම ලබමින් සිටින අතර ඇයට පාසල් වයසේ පසුවන බාල සොහොයුරෙක් හා සොහොයුරියක් සිටිති.

හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය මහතාගේ උපදෙස් මත මස්කෙළිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජී.කේ.ඒ.ප්‍රේමසිරි මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා පොලිස් කොස්තාපල් නිර්මලා (5228) මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.