විධායකය අහෝසි කිරීමේ යෝජනාවට හදිසි කැබිනෙට්ටුවේ විරෝධය

විධායකය අහෝසි කිරීමේ යෝජනාවට හදිසි කැබිනෙට්ටුවේ විරෝධය

September 19, 2019   05:19 pm

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ කැඳවු හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත.

කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගෙන් බහුතරයක් ඊට විරෝධය පළ කිරිම නිසා එම යෝජනාව ප්‍රතික්ෂේප වු බවයි කැබිනට් මණ්ඩල සාමාජිකයින් සඳහන් කළේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සඳහා වු යෝජනාවක් සාකච්ඡා කිරීම සඳහා අද පස්වරු 3 ට පමණ හදිසි කැබිනට් රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්ලයේදි කැඳවා තිබුණි.

ඊට අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ සුළු ජාතික පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන්, පී.දිගම්බරන්, රවුෆ් හකීම් යන මහත්වරුන්ද එක්ව සිටියේය.

මෙහිදි යෝජනාවට පක්ෂව රවී කරුණානායක හා රාජිත සේනාරත්න කරුණු දැක්වු නමුත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අනෙකුත් කැබිනට් ඇමතිවරු රැසක් ඊට දැඩි විරෝධයක් එල්ල කළේය.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක මෙවැනි යෝජනාවක් ගෙන ඒම එකඟ විය නොහැකි බව ඔවුන් අවධාරණය කර ඇත.

මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව මේ අවස්ථාවේ දී සාකච්ඡා නොකළ යුතු බව, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ විශේෂ කැබිනට් රැස්වීම ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.

අද පැවති විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරණයට දින නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වී තිබිය දී ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට සාකච්ඡා කිරීම නින්දිත ක්‍රියාවක් බවයි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. 

එහිදී අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ, මෙය එක්සත් ජාතික පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවක් විය හැකි බවයි.

ඊට ප්‍රතිචාර දක්වා ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ යෝජනාව තමාගේ නොවන බවට ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවට අමාත්‍ය රවි කරුණානායක සහ අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් එකඟ වී ඇති බව වාර්තා වෙයි.