සජිත්ට වල් අලි දමනය කරන්න පුළුවන්-එජාප නායක අලියා දමනය කරගන්න බෑ

සජිත්ට වල් අලි දමනය කරන්න පුළුවන්-එජාප නායක අලියා දමනය කරගන්න බෑ

September 16, 2019   10:03 pm

නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් බුදු දහම විකෘතියට පත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (16) වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙරේදා හරි අපූරු කතාවක් කිව්වා.  ඒ තමයි බුදු රජාණන් වහන්සේ නාලාගිරි ඇතා දමනය කලේ ගාථාවක් කියලා.  ඒක විහිළුවක් කියලා සිතනවා නම් එයාත් එක්ක කලාවැව ලඟට යන්න ආවොත් වල් අලි දමනය කරලා පෙන්වනවා කියලාත් කිව්වා.  සජිත් මැතිතුමාට වල් අලි දමනය කරන්න පුළුවන් වුණත් දශකයකට වැඩි කාලයක් එජාප නායක අලියා දමනය කර ගන්න බැරි වෙලා තිබෙනවා.

එතුමා අලියා ලකුණ දරණ පක්ෂයේ නායකත්වයට ඉව ඇල්ලුවත්  නාලාගිරි දමනය පිළිබඳ පැවසුවේ මුසාවක්.  බුදු රජාණන් වහන්සේ කිසිම තැනක මන්ත්‍ර වලින් ගාථා වලින් විස්කම් පාපු ඉන්ද්‍රජාලකයෙකු නොවේ.  එතුමා අනුන් දමනය කලේ කරුණාව, මෛත්‍රිය, ඉවසීම සහ ර්තකන හැකියාව වැනි බුදු ගුණ වලින්.  නාලාගිරි දමනය ගැන අපට අසන්න ලැබෙන ගාථාව තිබෙන්නේ ජයමංගල ගාථා වලයි.

නාලාගිරිං ගජවරං අතිමත්ත භූතං

දාවග්ගි චක්ක මසනීව සුදාරුණං තං

මෙත්තම්බුසේක විධිනා ජිතවා මුනින්දෝ

තං තේජසා භවතු තේ ජයමංගලානි

සුරාවෙන් මත් වී දරුණු ලෙස පැමිණි නාලාගිරි නම් ඇතා බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය නමැති සිසිල් පැනින් දමනය කළා කියලායි ඒ ගාථාවේ කියන්නේ.  ඒ කියන්නේ නාලාගිරි ඇතා දමනය කලේ මෛත්‍රිය පෑමෙන් මිස ගාථා කීමෙන් නොවේ. ඒජාපයේ ජනාධිපති අපේක්ෂකයා විතරක් නොවෙයි වත්මන් රජයේ සංස්කෘතික අමාත්‍යවරයා බුදු දහම විකෘති කරනවා නම් අද බුදු  දහම මුහුණ පා ඇති අවාසනාවන්ත ඉරණමට මීටත් වඩා තවත් සාක්ෂියක් අවශ්‍ය නෑ.

ඒජාපයේ උදවිය විතරක් නොවෙයි අපිත් මාස තුනක් පුරා එජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත් මැතිතුමාට ලබා ගන්න ලොකු සටනක් කරනවා.  ඒ නිසා අඩුම ගණනේ නාමයෝජනා භාර දෙන තුරුවත් කට ප්‍රවේශම් කර ගන්න කියලා අපි සජිත් මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මොකද නොවැම්බර් මාසයේ තිබෙන්නේ රටේ ජනාධිපති තෝරන තරගය මිස රජ ගෙදර කවටයා තෝරන තරගය නොවේ." යනුවෙන් පැවසීය.