රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව සකසා අවසන්

රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව සකසා අවසන්

September 16, 2019   07:35 pm

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය උපවාසයේ නිරත වැටුප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව සකසා අවසන් බව ආරක්ෂක ලේකම්වරයා සමඟ අද (16)  පස්වරුවේ පැවති සාකච්ඡාවේදී අදහස් පළ වූ බව පූජ්‍ය අතුරුලියේ රතන හිමි පවසයි.

කෙසේ වෙතත් වැටුප් ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පසුගිය 11 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ විරෝධතාව අඛණ්ඩව 6 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ඊයේ (15) රාත්‍රියේද අධික වර්ෂාව මධ්‍යයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ විරෝධතාවයේ නිරත විය.

මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට විරෝධතාවයේ නිරත පෙනහළු ආසාධිත අයෙකු රෝගාතුර විය.

1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වීමට එහි සිටි පිරිස කටයුතු කළ අතර එහි කාර්ය මණ්ඩලය ඔහුට ප්‍රතිකාර කරනු ලැබුවේය.

මේ අතර විරෝධතාවය පැවති ස්ථානයට රාත්‍රි කාලයේ පැමිණි සිවිල් ජනතාවද විරෝධතාවයේ නිරත පිරිසට තේ පැන් සංග්‍රහයක් ලබා දෙන අයුරු දක්නට ලැබුණි.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය අද දිනයේද වර්ෂාව මධ්‍යයේ විරෝධතාවයේ නිරත වූ අතර භික්ෂූන් වහන්සේ අද පස්වරු 1.30ට පමණ විරෝධතාවයට සහය පළකරමින් ඊට එක් විය.

භික්ෂූන් වහන්සේගේ මැදිහත්වීමෙන් අද දිනයේ තවත් තාවකාලික අට්ටාලයක් ඉදිකරන අයුරු දක්නට ලැබුණා.

මේ අතර සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් අදත් විරෝධතාකරුවන්ගේ සුවදුක් විමසීමට පැමිණ සිටියේය.

මේ අතර අදත් සිවිල් ජනතාව මෙම විරෝධතාවයට සහය පළකරමින් විරෝධතාවයේ නිරත විය.

ඒ අතරතුර විරෝධතාවයට සහය පළකළ භික්ෂූන් වහන්සේ කිහිප නමක්, රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ නියෝජිතයින් පිරිසක් සමඟ ආරක්ෂක ලේකම්වරයාව හමු විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවට පූජ්‍ය අතුරලියේ රතන හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි, පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ එක්ව සිටියේය.

උන්වහන්සේ සඳහන් කළේ, විරෝධතාවයට පාදක වූ වැටුප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වනු ඇතැයි එහිදී අදහස් පළ වූ බවයි.

අනතුරුව සාකච්ඡාවට සහභාගී වූ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස යළිත් විරෝධතාවය සමඟ එක් විය.