අගමැති අද ජනපති කොමිසමට එන්න බෑ කියයි

අගමැති අද ජනපති කොමිසමට එන්න බෑ කියයි

September 12, 2019   06:44 am

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද දිනයේ රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවිමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමට නොහැකි බව දැනුම් දී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාමේදී සිදු වු අක්‍රමිකතාවකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍යවරයාට සිතාසි නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් මන්නාරම ප්‍රදේශයේ පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගීවිමට සිදු වන බැවින් කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට පෙනී සිටිමට නොහැකි බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් දැනුම්දී ඇති බව සඳහන්.

ඒ අනුව ලබන 16 වනදා පෙරවරු 09.30ට අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බව එහි ප්‍රකාශකයෙකු පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභාව සදහා පවරා ගැනිමට අග්‍රාමාත්‍යවර රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2015 වසරේ සැප්තැම්බර් මස 21 වනදා කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත් බව අදාල සිද්ධිය පිළිබඳව සාක්ෂි ලබාදුන් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු පාර්ශව විසින් කොමිසම හමුවේ සදහන් කර ඇත.

මේ අතර ප්‍රතිජීවක ඖෂධ මෙරටට ගෙන්විමේදී සිදු වූ අක්‍රමිකතාවකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.