ලබන සතියේ සිට පුලතිසියෙන් ගමට යන්න ජනපති සුදානම්

ලබන සතියේ සිට පුලතිසියෙන් ගමට යන්න ජනපති සුදානම්

September 11, 2019   05:53 pm

"පුලතිසි "නගරාන්තර ශීඝ‍්‍රගාමී දුම්රිය අද(11) පස්වරුවේ කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා ගමන් ආරම්භ කළේය.

මෙම නගරාන්තර ශිඝ‍්‍රගාමී දුම්රියේ මංගල ගමනට අද  පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්වුණා.

කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ලැබීය.

දිනපතා සවස 3.00 ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය රාති‍්‍ර 7.45 වනවිට පොළොන්නරුවට ළඟා වීමට නියමිතව ඇත.

පසු දින අලූයම 3.45ට පොළොන්නරුවේ සිට කොටුව දක්වා යළි ගමන් ආරම්භ කරන දුම්රිය පෙ.ව 9.06 වන විට කොටුව දුම්රිය ස්ථානයට ළඟාවනු ඇත.

මෙම නව ශීඝ‍්‍රගාමී දුම්රිය පොළොන්නරුව, කුරුණෑගල, මහව, කැකිරාව,හබරණ, හිඟුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වනු ලැබේ.

ශ‍්‍රී ලංකා දුම්රිය සේවයට අලූතින් එක්වූ “පුලතිසි” නගරාන්තර ශිඝ‍්‍රගාමී දුම්රිය එස් 13 වර්ගයේ අතිසුඛෝපභෝගී දුම්රියකි.

කොළඹ  කොටුව - පොළොන්නරුව අතර විශේෂ දුම්රිය සේවාවක් මෑත දශක කිහිපයේ දී කි‍්‍රයාත්මක නොවූ අතර එම අඩුව සපුරාලමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනමැතිතුමාගේ මැදිහත්වීමෙන් පුලතිසි ශීඝ‍්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරිණි.

මේ අතර මරදාන ප‍්‍රධාන දුම්රිය පාලක මැදිරිය ද අද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. 

අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරුන් ද ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, තමා අද දිනයේ වඩාත් සතුටට පත්වෙන බවයි.

දුම්රිය මහජනයාට පහසු සේවයක් බවත්, දුම්රිය සේවයේ විශාල ප්‍රශ්න තිබුණ ද රජයක් ලෙස හැකි අයුරින් වෙනස්කම් කරන බවත් පැවසු ජනාධිපතිවරයා, කොටුව සිට පොළොන්නරුවට පැය 5 ක ආසන්න කාලයක් ගත වෙන මෙම ගමන යෑමට හැකි විම ගැන මෙම දුම්රිය ලබා දුන් ඉන්දීය රජයට ද ජනාධිපතිවරයා මෙහිදී ස්තූතිය පළ කළේය.

ළඟදීම චීනයෙන් තවත් දුම්රිය කීපයක් ලැබෙන බවත් ඒ අනුව ඉදිරියේ දී උඩරටට එම දුම්රිය එක් කිරීමට බලාපොරොත්තු වන බවත්, පොදු පහසුකමක් ලෙස ඇති අපහසුතා මෙවැනි කරුණු තුළින් යම් ප්‍රමාණයකට හෝ අඩු වෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ලබන සතියේ ඉඳන් මෙම දුම්රියේම තමා ද පොළොන්නරුවට යෑමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා මෙහිදී සිනා සෙමින් පැවසීය.