ශ්‍රීලනිපයේ සහාය ගෝඨාට ද?

ශ්‍රීලනිපයේ සහාය ගෝඨාට ද?

August 23, 2019   02:44 pm

ඉදිරි ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසයි.

ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අතර හමුවක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණි.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති එම සාකච්ඡාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

එහිදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම  අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂ විරෝධීන් බවයි.

ඔවුන් තුන් වෙනි බලවේගයකට යාමට කැමැත්තක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කිරීමට එකඟ වී ඇති බවයි.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීම රහසක් නොවන බවයි.

නමුත් එම පක්ෂයේ බහුතරයක් අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව පිළිගෙන ඇති බවත් ඔහු පැවසීය.