පළාත් සභා මැතිවරණය ගැන ජනපතිගේ අයදුම්පත විභාගයට ගැනීම ඇරඹේ
August 23, 2019 10:58 am
පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත වීමසීමට අදාල විභාගය අද(23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම විභාගය පැවැත්වෙයි.
බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කරයි.
නඩු විභාගය ආරම්භයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විවිධ පාර්ශව වලින් ලිඛිත දේශන 13 ක් ඉදිරිපත් වී තිබෙන බවයි.
අනතුරුව පාර්ශවකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පළාත් සභා වල සීමා නිර්ණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වාර්තාව පාර්ලිමේන්තුවේ දී ඡන්ද 139 කින් පරාජය කර ඇති බව කියා සිටියේය.
ඉන් අනතුරුව එම සීමා නිර්ණය වාර්තාව නැවත අධ්‍යයනය කිරීම සඳහා කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා එම කමිටුව විසින් ඔවුන්ගේ වාර්තාව මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව ද ප්‍රකාශ කළේය.
මෙම වාතාවරණය මත පාර්ලිමේන්තු ක්‍රියාදාමය මගහැර නීතිය අභිබවා ගොස් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන ප්රශ්නය ජනාධිපතිවරයා විසින් ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙය දැඩිව සැලකිල්ලට භාජනය කළ යුතු කරුණක් බවයි සිය දේශනය ඉදිරිපත් කරමින් කියා සිටියේය.