ළමයි බලන්න ගිහින් මට වුණේ සත්තු බලන්න-එතෙර ගිය මවකගේ කඳුළු කථාව
August 22, 2019 11:33 am
දරුවන් වෙනුවෙන් දහසකුත් කැප කිරීම් කරන මව්වරුන් අතරින් අපට හමුවු මේ මව එතෙර රැකියාවක් සඳහා ගොස් දහසකුත් කරදර දරා සිටිය කාන්තාවකි.
වයස අවුරුදු 32 ක් වු මාතලේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය කුවේට් බලා ගමන් කරන්නේ ළමුන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ වර්තමානය කැප කරමිනි.
කෙසේ වෙතත් කුවේට් රැකියාවට ගොස් නොසිතු තරම් දුක් ගැහැට විඳීමට සිදුවු ඇය අද පාන්දර යළි දිවයිනට පැමිණ තිබේ.
2017 වසරේ සැප්තැම්බර් මස 9 වන දින කුවේට් බලා ගමන් කරන ඇය, ළමුන් බලා ගැනීම සඳහා ගොස් තිබු නමුත්, එහිදී ඇයට සිදුව ඇත්තේ ළමුන් නොව සතුන් බලා ගන්නය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, කුකුල්ලු, බැටලුවෝ ඇති කරන ස්ථානයකට තමා ගෙන ගිය බවත් එහිදී දිනපතා තක්කාලි හොදි සමඟ බත් තමාට කෑමට ලැබුණු බවත්ය.
කරදරවලින් මිදී එක් දිනක් පාන්දර 3 ට පමණ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන ගොස් ඇති ඇය, අද දිනයේ තම මව්බිමට පැමිණෙන්නේ ඉමහත් සතුටකිනි.
තමා වැනි කාන්තාවක් රැසක් මේ මොහොතෙත් කුවේට් රටේ දුක් විදින බවත් පැවසු ඇය, තවත් 140 ක පමණ පිරිසක් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන් සිටින බවද කියා සිටියේය.
විදේශ රැකියාවලට ගොස් දුක් විඳිනවාට වඩා ළමයින් සමඟ ලංකාවේ පොල් සම්බෝලයි බතුයි ආහාරයට ගෙන හෝ ජීවත් වීම සැනසීමක් බවද ඇය පැවසීය.
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එම නිවෙස්වලින් විවිධ ආකාරයේ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 60 දෙනෙකු , එරට සිටඅද(22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
මෙම පිරිස අද උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
වැටුප් සහ ආහාර නොලැබීම , උදෑසන සිට රාත්‍රී වනතුරු වැඩ ගැනීම , පහර දීම්වලට ලක් වීම සහ විවිධ වධ හිංසාවලට ලක්වූවන් පිරිසක් මෙසේ ශ්‍රී ලංකාවට එවා තිබුණි.
ඔවුන් තම අසීරුතා තවදුරටත් දරා ගත නොහැකිව , තමන් සේවය කරමින් සිටි නිවෙස්වලින් පැන ගොස් , කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි කාන්තාවන් පිරිසකි.
විදේශ විනිමය උපයන ප්‍රධාන මඟ විදෙස් ගෘහ සේවය වුවත් ඔවුන් බොහෝ දෙනාගේ ජීවිත කතා බොහෝ දුක්ඛිත තත්ත්වයකට අද වන විට පත්ව තිබේ.
මෙවන් දුක් විඳින අපේ කාන්තාවන් හිංසනයන්ගෙන් බේරා ගැනීමට නිසි වැඩපිළිවෙලක් සකස් කිරීම වගකිව යුතු බලධාරීන්ගේ කටයුත්තක් නොවන්නේ ද?