විනාඩි 9 යෙන් කොටුවට යන ගමන ඇරඹෙයි

විනාඩි 9 යෙන් කොටුවට යන ගමන ඇරඹෙයි

August 22, 2019   10:09 am

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබන අතර පළමු මාසයේදී මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාදීමට නියමිතයි.

මෙම මගී ප්‍රවාහන යාත්‍රා සේවාව තුළින් මිනිත්තු 09ත් 10 අතර කාලයකින් කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා ගමන් කළ හැකි බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රෝෂාන් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොළඹ නගරය පුරා ඇති වී ඇති උග‍්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය කි‍්‍රයාත්මකයි. 

මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. 

ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියලු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.

රථ වාහන තදබදයට විසඳුම් ලෙස මේ වන විටත් මහානගර අමාත්‍යාංශය මගින් බස් ප‍්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කර ඇති අතර සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ද කි‍්‍රයාවට නංවා තිබේ.