එවරස්ට් කලාපයට ප්ලාස්ටික් තහනම්
සයුරෙන් එතෙර

එවරස්ට් කලාපයට ප්ලාස්ටික් තහනම්

August 22, 2019   09:49 am

එවරස්ට් කලාපය තුළට එක්වරක් පමණක් භාවිතා කළහැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය ගෙන ඒම නේපාල බලධාරීන් විසින් තහනම් කර තිබේ.

ඒ එවරස්ට් කඳුකරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස්වීම පාලනය කිරීම සඳහායි.

කඳුනගින්නන් විසින් දමා යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එවරස්ට් කඳුකරයේ එක්රැස්වී තිබේ.

ඉකුත් දිනවලදී එම ප්‍රදේශයේ තිබී කසල ටොන් එකොළහක් පමණ ඉවත් කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි.

එක්වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් නිෂ්පාදන එවරස්ට් කලාපයට ගෙන ඒම තහනම් කිරීමට බලධාරීන් තීරණය කර තිබෙන්නේ ඒ අනුවයි.

එවරස්ට් කලාපයේ ප්ලාස්ටික් තහනම ලබන වර්ෂයේ ජනවාරි මස සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව මයික්‍රෝන30ට අඩු ප්ලාස්ටික් නිෂ්පාදන කුම්බු  පසංලමු කලාපයට ගෙන ඒම තහනම් වනු ඇති.

එවරස්ට් හා ඒ ආශ්‍රිත කඳුකර ප්‍රදේශය පිරිසිදුව දිගු කලක් තබාගැනීමේ අරමුණින් බලධාරීන් එම තීරණයට එළඹ තිබේ.

එවරස්ට් කලාපයට එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් ගෙන ඒම තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට ගුවන් සමාගම්, කඳුනැගීමේ සමාගම් වැනි ආයතන රැසක්ද සහය පල කර තිබේ.

කෙසේ නමුත් අදාළ නීතිය කඩකරන්නන්ට හිමිවන දඬුවම් සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් කර නැහැ.