සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට

August 22, 2019   08:27 am

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පවසයි.

ඊයේ(21) අදාළ ඉන්දීය ධීවරයින් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ශිවකරන් මහතා පැවසුවේ ධීවර බෝට්ටුවකින් පැමිණි යාපනයට ඔබ්බෙන් වන මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලු ධීවරයින් සිව් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් ධීවරයින් නාවික හමුදා නිලධාරීන් විසින් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමෙන් අනතුරුව අදාළ ධීවරයින් ඉදිරි අධිකරණ කටයුතු වෙනුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම පැවසුවේය.

පසුගිය 12 වැනිදාද යාපනය ‍ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.