පාස්කු ප්‍රහාරය වලක්වන්න පැය 16ක් තිබුණා

පාස්කු ප්‍රහාරය වලක්වන්න පැය 16ක් තිබුණා

August 21, 2019   11:27 am

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීම සඳහා පැය 16ක පමණ කාලයක් තිබූ බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් අනාවරණ කළේය.

ඒ ඊයේ(20) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

දිනකට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී මෙය වලක්වා ගැනීමට කටයුතු නොකිරීම පැහැදිළි අතපසුවීමක් බව ජනාධිපතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා ත්‍රස්තවාදීන් යොදාගෙන තිබුණේ අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සඳහාද යොදාගත් යූරියා නයිට්‍රේට් භාවිතා කර නිපදවන ලද පුපුරණ ද්‍රව්‍යයක් වන බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් සඳහන් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි විමසීමට ඊයේ කැඳවා තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින්ය. 

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරු මෙහිදී සාක්ෂි ලබාදුන්නේය.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා කමිටුව හමුවේ පැවසුවේ තමා සාක්ෂි දීම සඳහා සහභාගි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ලෙස නොව ජනාධිපතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයෙක් ලෙස පමණක් වන බවයි.