දඹුල්ලෙන් මත්කුඩු තුරන් කරන්න විශේෂ මෙහෙයුමක්

දඹුල්ලෙන් මත්කුඩු තුරන් කරන්න විශේෂ මෙහෙයුමක්

August 21, 2019   11:06 am

මත්කුඩු වලින් තොර දඹුල්ලක් ඇති කිරීම සඳහා දඹුල්ල පොලීසිය සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ එක්ව ආරම්භ කොට ඇති විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී දඹුල්ල නගරයේ හෙරොයින් මත්කුඩු අලෙවි කරන පුද්ගලයන් දෙදෙනෙකු සහ මත් කුඩු ළඟ තබා ගෙන සිටි හයදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (20) රාත්‍රීයේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව  දඹුල්ල පොලිසිය පැවසීය.

මෙම පිරිස දඹුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් එක් අයෙකු ළඟ මිලි ග්‍රෑම් 20 බැගින් මත්කුඩු තිබී සොයාගෙන ඇත.

පහසු මුදල් හුවමාරු ක්‍රමයට සහ විවිධ ක්‍රම හරහා මත්කුඩු මෙම පිරිසට අලෙවි කරන පුද්ගලයන් දෙදෙනා ද දඹුල්ලේ පදිංචිකරුවන් බවත් ඔවුන් ළඟ මිලිග්‍රෑම්  650 බැගින් මත්කුඩු තිබී සොයාගත් බවත් සඳහන් වේ.

දඹුල්ල නගරය මත්කුඩු වලින් තොර නගරය කිරීම සඳහා දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී . එදිරිසිංහ මාහතා සිවිල් සංවිධාන සහ එක්ව  වීශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කොට ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙහිදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් පුද්ගලයන් සමඟ ද ඒකරාශී වී මත්කුඩු අලෙවිකරණ කුඩු ප්‍රවාහනය කරන මත් කුඩු වලට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බවත් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි  එදිරිසිංහ මහතා සඳහන් කළේය.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අවස්ථා ගණනාවකදීම මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට නඩු පවරා වැරදිකරු වූ සහ දැනට නඩු පවතින තරුණයන් බව සඳහන්.

අත්අඩංගුවට ගෙන ඇති තරුණියන් වයස අවුරුදු 22 සිට වයස අවුරුදු 32 දක්වා වූ විවාහක හා අවිවාහක දඹුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් මෙම පිරිසගේ දෙමව්පියන්ගේ සහ ඥාතීන්ගේ මැදිහත්වීම මත පුනුරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එදිරිසිංහ මහතා ඥාතීන්ගෙන් ඉල්ලා සිටිති.

මත් කුඩු ලෝලීන් අත්අඩංගුවට ගත් පසු ඔවුන්ගේ දෙමව්පියන් බිරින්දෑවරුන් සහ ළඟම ඥාතීන් පොලිසිය ඉදිරිපිට හඬා වැටෙමින් ඔවුන්ව බේරා ගැනීමේ දැඩි උත්සාහයක නිරත වන බවත් මින් ඉදිරියට බේරා ගැනීමට වඩා ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඉදිරිපත් වන්නැයි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඥාතීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි . එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂකවරුන් වන ගයාන් බුද්ධික ඒ.ටී .බණ්ඩාර යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මත් කුඩු ලෝලීන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටිති.