අවුරුදු 4ක් අධ්‍යාපන ඇමති පොල් ගෑවා-පුබුදු ජයගොඩ

අවුරුදු 4ක් අධ්‍යාපන ඇමති පොල් ගෑවා-පුබුදු ජයගොඩ

August 21, 2019   10:05 am

උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රය විසින් ඇතිකළ අසාධාරණයත් තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත හරහා පෞද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කිරීමේ උත්සාහයත් ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලිකරණ කුමන්ත්‍රණයේ පියවර බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) බත්තරමුල්ල එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. 

එහිද ඔහු පැවසුවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිය සහතික කිරීමේ මුවාවෙන් වත්මන් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිත තත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත (QAAC) නීතියක් බවට පත්වුවහොත් මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසිකරමින් මුදල් ඇති අයට පමණක් උසස් අධ්‍යාපනය හිමිකර ගැනීමේ අවස්ථාව විවර කෙරෙන බවයි. 

පසුගිය උසස් පෙළ විභාගයේදි ජීව විද්‍යා විෂයට අයත් ප්‍රශ්න පත්‍රය තුළ ශිෂ්‍යයන්ට විශාල අසාධාරණයක් සිදුකරනු ලැබු බවද ඔහු සඳහන් කළේය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියේ 2011 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් බවත් ඔවුන්ට  අදාළව විෂය නිර්දේශ සකස් කිරීමේ සිට ගුරු අත්පොත් සකස් කිරීම, විභාග ප්‍රශ්න සකස්කිරීම දක්වාම ආණ්ඩුව විශාල වැරදි ප්‍රමාණයක් සිදුකර තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය. 

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පුබුදු ජයගොඩ මහතා,

"විෂය ක්ෂේත්‍රයට ඒකක 10ක් තිබෙන නමුත් මේ වසරේ ජනවාරි මාසය වනවිත් විෂය නිර්දේශය ලබා දී තිබුනේ එක ඒකකයක් සඳහා පමණයි. 

ඉන්පසුව මැයි, ජූනි ජූලි මාස විෂය නිර්දේශයේ කොටස් පාසල්වලට නිකුත් කරනු ලැබුවා විභාගයට සතියකට කලින් ඒකකක දෙකක් පමණ පාසල්වලට එවීම සිදු කරනු ලැබුවා. 

විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය නැතිව, ලකුණු දැමීමේ ක්‍රමවේද නැතිව උසස් පෙළ ජීව විද්‍යා අංශයේ සිසුන්ට අධ්‍යාපනය ලබන්න, විභාගයට ලියන්න සිදුවුණා. 

ඒ නිසාම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ලක්ෂ ගණනකට ආණ්ඩුවෙන් දැඩි අසාධාරණයක් සිදුකළා. ප්‍රශ්න පත්‍ර සූදානම් කිරීමේදී ඇතිව තිබෙන ගැටලුවල බරපතළකම හා ආණ්ඩුවට එහි ඇති වගකීම සම්බන්ධව ගත්තත් සිසුන්ගෙ පැත්තෙන් අසාධාරණයක් සිදුව තිබෙනවා.

 සමහර බහුවරණ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දෙකක් තිබුණා, සමහර ප්‍රශ්නවලට පිළිතුරක් නෑ. සමහර රූපසටහන්, ප්‍රස්තාරවල ගැටලු නිසාත් පිළිතුරු ලිවීමෙදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පීඩාවකට ගොදුරුකර තිබෙනවා. 

තවත් ප්‍රශ්නවල සිසුන්ට උගන්වන විෂය කරුණු, නිශ්චිත යෙදුම් වෙනුවට වෙනත් වචන සම්බන්ධ ප්‍රශ්න විමසා තිබුණා. බහුවරණ ප්‍රශ්න 50න් ප්‍රශ්න 8ක් පමණ ගැටලු සහගතයි.

මේ වගේම මෙවර භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට ප්‍රමාණවත් කාලයක් ලබා දී නෑ. 

දෙපාර්තමේන්තුවෙන් මේ ප්‍රශ්න පත්‍රයේ නියැදි පරීක්ෂණ කරලා නෑ. ඒ වගේම භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සංකීර්ණ ගණිතයෙදි එන ශ්‍රිත ආශ්‍රිත ප්‍රශ්නයක් ඇතුළත්ව තිබුණා. 

ගණිත විෂය ඉගෙන ගන්න ශිෂ්‍යයන්වත් භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයකින් ඒ වගේ ප්‍රශ්න අපේක්ෂා කරන්නෙ නෑ. මේ සැරේ උසස් පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රය පවා ගැටලු සහිතයි. 

පෞද්ගලික ව්‍යාපාරිකයන්ට සාහිත්‍ය කෘති මුද්‍රණය කරද්දි වෙන වැරදි නිසා දරුවන්ට ප්‍රහ්න පත්‍රයෙදි ගැටලුවලට මුහුණ දෙන්න වෙලා. ඒ වගේම මේ සැරේ තර්ක ශාස්ත්‍රය විෂය ප්‍රශ්න පත්‍රයෙදිත් අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රශ්න ඇතුළත්.

මේ උසස් පෙළ විභාගයට අයිති විෂය නිර්දේශය අලුත් කරන බව තීරණය කළේ 2015දි. නව විෂය නිර්දේශයෙන් ඉගෙන ගන්න දරුවන් පන්තිවලට ආවෙත් 2017දි. ඒ අවුරුදු දෙකේ ආණ්ඩුව පොල් ගෑවා. ඉන්පස්සෙ ඒ සිසු සිසුවියන් මේ අවුරුද්දෙ උසස් පෙළ විභාගයට මුහුණ දෙනතුරුත් තව අවුරුදු දෙකක්. 

ඒ අවුරුදු දෙකෙත් ආණ්ඩුව පොල් ගෑවා. අවුරුදු 4ක් මේ තරම් කාලයක් තියෙද්දි අධ්‍යාපන ඇමිතවරයා මොකද කළේ. මේ වගේ විභාගයක් පවත්වන්න වගකීමක් නැති ඇමතිවරයෙක්, මේ අධ්‍යාපනය විකුණන්න උත්සාහ කරන ආණ්ඩුවේ අරමුණ සමඟ සමපාත වෙනවා."