ඇමසන් වැනසී යාමේ අවදානමක
සයුරෙන් එතෙර

ඇමසන් වැනසී යාමේ අවදානමක

August 21, 2019   09:45 am

ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරය ලැව්ගිනි හේතුවෙන් වැනසී යන බව මෑතකදී කළ නිරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

මෙම ලැව්ගිනි වැඩි වශයෙන් මතුව ඇත්තේ බ්‍රසීලයට අයත් ඇමසන් කලාපයේදීයි.

එම තත්ත්වය යටතේ බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ පාරිසරික ප්‍රතිපත්ති දැඩි ප්‍රශ්න කිරීමකටද ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ලෝකයේ ජෛව විවිධත්වය අතින් ගත් කළ ඇමසන් වැසි වනාන්තරය සැලකෙන්නේ ප්‍රධානම නිවර්තන වැසි වනාන්තරය ලෙසයි.

බ්‍රසීලය, පේරු රාජ්‍යය, කොලොම්බියාව, ඉක්වදෝරය, බොලිවියාව, ගයනාව, සුරිනාම් හා ප්‍රංශ ගයනාව යන රටවල පැතිර පවතින ඇමසන් වනාන්තරය පසුගිය සියවස පුරා සිදුවූ කාලගුණ විපර්යාසවලට මුහුණදෙමින් වුවද නොනැසී පවතියි.

කෙසේ නමුත් ගත වූ කාලය ඇමසන් වනාන්තරයට සුබවාදී නොවූ බව පසුගියදා සිදුකල අනාවරණයකදී තහවුරු විය.

නව වාර්තාවලට අනුව මේ වසරේදී පමණක් ඇමසන් වනාන්තරයේ බ්‍රසීලයට අයත් කොටසේ ලැව්ගිනි 72 843ක් හටගෙන ඇති බව සඳහන් වෙයි.

බ්‍රසීල අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයේ මේ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, එය ඉතාමත් ඛේදනීය තත්ත්වයක් බවයි.

2018 වසර හා සසදා බැලීමේදී මේ වසරේ ගත වූ කාලය තුළ හටගත් ලැව්ගිනි ප්‍රමාණය සියයට 83ක වර්ධනයක් ලෙස දැකිය හැකි බවයි වාර්තා වෙයි.

පසුගිය 15වැනිදා සිට ඇමසන් වනාන්තරයේ හටගෙන ඇති ලැව්ගිනි ප්‍රමාණය 9,507ක් වූ අතර, ඉන් තැතිගන්වන සුළු අවදානමක් පෙනී යන බව විද්‍යාඥයන්ගේ මතයයි.

මතුව ඇති අවදානම සලකා හදිසි තත්ත්වයක් නම් කිරීමට ඇමසන් ප්‍රාන්තය කටයුතු කළේය.

සුප්‍රකට ඇමසන් ද්‍රෝණියට හා ඒ ආසන්න මැටෝ ග්‍රොසෝ හා පාරා ප්‍රාන්ත දෙක තුළත් ස්වභාවික අවදානම් නම්කිරීමට කටයුතු යොදා තිබුණි.

ඇමසන් කලාපය ඇතුලු පරිසර පද්ධතිය සුරැකීම පසුගිය වසර අවසානයේදී බලයට පත් බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ගේ මැතිවරණ ප්‍රතිපත්ති අතර පෙරමුණ ගත්තේය.

ඔහුගේ පාලන කාලය තුළ ඇමසන් වනාන්තරය මුහුණදී ඇති අවදානම මඟින් ජනාධිපතිවරයාගේ පාරිසරික ප්‍රතිපත්ති සුනුවිසුණුවී යනු ඇති බව විචාරකයන් පවසයි.