පොහොට්ටුවේ කණ්ඩායමකුත් මට ආශිර්වාද කරනවා-සජිත්
August 21, 2019 09:38 am
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(20) රාත්‍රියේ පවත්වා තිබේ.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වෙයි.
ඊයේ රාත්‍රී 7.30ට පමණ මෙම හමුවීම සඳහා සහභාගීවන එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් කොළඹ බාන්ස් පෙදෙසේ මරීනා ඇවනියු හි පෞද්ගලික නිවසකට පැමිණියේය.
එම අවස්ථාවට එක්වු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, උපන්දින සාදයක් බැවින් කලබල විය යුතු නැති බවයි.
මෙම අවස්ථාවට එක්වු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ“ ගෝඨාභය කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි“ යනුවෙනි. ප්රජාතන්ත්රවාදී පක්ෂයක් පක්ෂයක් බැවින් සාකච්ඡා කර අද හෙට යහපත් තිරණයක් ගන්නා බවද පැවසු අමාත්‍යවරයා, සන්ධානය සම්බන්ධයෙන් බොහෝම හොඳ තත්ත්වයක් ඇතිව තිබෙන බවද පැවසීය.
කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ හැකි අපේක්ෂකයා කවුරුන් ද යන්න ගැන මෙහිදී සාකච්ඡා වු බවත්ය.
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අභියෝගයක් බවත් එය පිළිගත යුතු කාරණාවක් බවත් පැවසු හර්ෂ ද සිල්වා මහතා, ඔහුට රටේ සෑහෙන ඡන්ද සංඛ්‍යාවක් හිමි වෙන බවද පැවසීය.
කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා සිටියේ සාකච්ඡා ඉතා සාර්ථකව සිදු වු බවත් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීම සඳහා විශාල පිපාසයක් ඇති බවත්ය.
ඒ පිපාසයට අවශ්‍ය වතුර ටික අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පැවසු සේනසිංහ මහතා, අපිට අවශ්‍ය අපේක්ෂකයා ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා පපුව උණුවෙන වැඩ කල හැකි නායකයෙක් බවත්, ඔහු නීතිගරුක අයෙක් බවත් පැවසු සේනසිංහ මහතා, ඒ සියල්ල ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක් දෙන්න යැයි ද මෙහිදී සුජීව සේනසිංහ මහතා, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් ඉල්ලා සිටි බවත් පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට ලංකාවේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා බවට පත්ව ඇති බවත් පැවසු ඒ මහතා, එදත් බහුතරයක් සිටි බවත් එය හෙට දවසේත් එසේ සිදු වෙනු ඇතැයි ද කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කියා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂය සුදානම් විය යුතු ආකාරය ගැන සාකච්ඡා කල යුතු බවයි. පක්ෂයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන මේ වන විට දළ අදහසක් ලබා ගනිමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙහිදී පවසා සිටියේ, පළමුව පක්ෂය තුළත් පසුව පක්ෂ නායකයින් සමඟත් සාකච්ඡා කර සන්ධානය සැකසීමට දිනයක් යෝජනා කරන බවත් එදිනට බෝහෝවිට ජනාධිපති අපේක්ෂකයා රටට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, තමා ඉතා සන්සුන් මනසින් සිටින බවත් කිසිදු කලබලයක් නැති බවත්ය.
සුබ හෝරාවෙන් සියලු දේ සිදුවනු ඇති බවද කියා සිටි සජිත් ප්‍රේමදාස මහතා තමාගේ මුණේ කිසිදු අසතුටක් නොමැති බවත් සියලු දෙනාගේ ආශිර්වාදය තමාට හිමි වන බවත් පැවසීය.
පොහොට්ටුවේ කණ්ඩායමකුත් තමාට ආශිර්වාද කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.