ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන ප්‍රකාශ ගැනීමට අධිකරණයෙන් CIDයට අවසර

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන ප්‍රකාශ ගැනීමට අධිකරණයෙන් CIDයට අවසර

August 21, 2019   09:01 am

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවට බුද්ධි තොරතුරු මඟින් අනාවරණ වී ඇති බන්ධනාගාර රැඳවූවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්‍ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ.

වැලිකඩ හා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරවල මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 5 දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම බන්ධනාගාරවල අධිකාරවරුන්ට ඊයේ(20) පස්වරුවේ නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව මේ මස 26 වන දින සිට ලබන 12 වනදා දක්වා කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනෙකුට එකී ප්‍රකාශ ලබාගැනීමට ද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දී තිබේ.