ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ක තද වැසි

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ක තද වැසි

August 21, 2019   06:12 am

දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් වෙයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

මේ අතර අම්පාර, මඩකළපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වර්ෂාපතනයන්ද, වයඹ පළාතේත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.