අරුවක්කාලූ කසළ අංගනය ඉදිකර ඇත්තේ විද්‍යාත්මකවමයි

අරුවක්කාලූ කසළ අංගනය ඉදිකර ඇත්තේ විද්‍යාත්මකවමයි

August 13, 2019   05:00 pm

අරුවක්කාලු සනීපාරක්ෂක කසළ බැහැර කිරීමේ අංගනය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක මහතා පවසයි.

අද(13) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය. 

එහිදී කසළ කළමනාකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් අදහස් දැක්වූ සමාජ විශේෂඥ නිමල් ප්‍රෙමතිලක මහතා මේ බව පැවසීය. 

“ලංකාවේ කසළ ගැටළුව වසර 40 ක පමණ සිට පැවත එන්නක්. මෙම ගැටළුව විද්‍යාත්මක විසඳුම් සෑම අවස්ථාවකදීම සුපුරුදු සටන් පාඨය වූ කොළඹ කුණු අපට එපා කියන සටන් පාඨය හේතුවෙන් මෙය කරන්න බැරි උනා. 

හොඳම උදාහරණය තමයි ආසියානු සංවර්ධන බැංකු ආධාර මත මීපේ ප‍්‍රදේශයේ ඇතිකරන්න ගිය විද්‍යාත්මක කසළ රඳවනය. එය සිදු කරන්න දුන්නේ නැහැ. 

ඉන් පසු වග ප‍්‍රදේශයේ සිදු කරන්න ගිය කසළ රඳවනය එය කරන්න දුන්නෙත් නැහැ. එහි ප‍්‍රතිඵලයක් ලෙස බ්ලූමෙන්ඩල්වල, මීතොටමුල්ලේ කුණු කඳු ගොඩගැසුනා. අවසානයේදී ජීවිත 32 ක් බිලිගත්තා.

අවසානයේදී මෙම ගැටළුව විසඳන්න අපේ අමාත්‍යාංශයට ලබා දුන්නා. අපි ඒ සඳහා විද්‍යාත්මක විසඳුමක් ලබාදෙනු ලැබුවා. කොළඹ නගර සභාව තමයි මෙයට වගකිවයුතුම ආයතනය. 

ඔවුන් තමයි අවසාන විසඳුම් යෝජනා කළ යුත්තේ. පනතේ බලතල ඔවුන්ටයි තිබෙන්නේ. අවසාන බැහැර කිරීම සනීපාරක්‍ෂකව සිදු කළ යුතු බවට නෛතිකව බලය තිබෙන්නේ ඔවුන්ට. 

ඔවුන් ඒ සඳහා විසඳුමක් ලබා නොදුන් නිසා අපේ අමාත්‍යාංශයට මෙය භාරගන්න සිදු උනා. නමුත් කියන්න කණගාටුයි ඒ කිසිම ආයතනයක් මේ අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනය වැදගත්කම, වටිනාකම ගැන එක මාධ්‍ය සාකච්ඡාවක්වත් තියලා නැහැ. 

ඔවුන්ටයි මේ ප‍්‍රශ්නය දැනෙන්නේ. ඒ නිසා අපි හිතනවා දැන්වත් ඔවුන් සනීපාරක්‍ෂක කසළ රඳවනයකට අවශ්‍යතාවය, රටට, කොළඹට කොතරම් වැදගත්ද?, පසුගිය සති කිහිපයේ අපි අත්දැක්කේ එය හරියට නොකළ නිසා ඇති වූ ප‍්‍රතිථළ.

පසුගිය කාළේ මාධ්‍යවලින් අපි දැක්කා කොළඹ නගර සභාවට සත පහක්වත් වියදම් උනේ නැහැ කියලා ප‍්‍රකාශ නිකුත් කරනවා. මේ සම්බන්ධව ලංකාවේ පුරවැසියෝ කියවිය යුතු වාර්තාවක් තිබෙනවා මීතොටමුල්ලේ නාය ගියාට පසුව මේ සම්බන්ධව ජනාධිපති කොමිසන් සභාවක් පිහිටෙව්වා. 

ඒක 46 දෙනෙක් සාක්කි දෙනු ලැබුවා. එහි වාර්තාවක් නිකුත් උනා. එම වාර්තාවේ පැහැදිලිව කියනවා වියදම් වූ මුදල් ගැන. 2007ඉඳලා කසළ අවසන් බැහැර කරන්න ඒ කාළේ වියදම් කරලා තිබෙනවා මිලියන 256 ක් විතර වියදම් කරලා තිබෙනවා. 

ඒ ආදී වශයෙන් හිස් ඉඩම්වලට කසළ බැහැර කරන්න අති විශාල මුදලක් වියදම් කරල තිබෙනවා. හැබැයි ඒ අය කියනවා විශාල මුදලක් වැය වෙනවා කියලා අරුවක්කාලූ කසළ අංගනයට ගිහින් බැහැර කරන්න. 

ගමනා ගමනයට වියදමක් යනවා තමයි, නමුත් මුඩුබිම්, පහත්බිම් විනාශ කරමින් මේක අතහැරලා එන්න සෑහෙන මුදලක් වියදම් කර තිබෙනවා. 

බ්ලූමෙන්ඩල්වලට බැහැර කරන කාළේ තමයි එතරම් අති විශාල මුදලක් වැය කර තිබෙන්නේ. පසු කාලයේ මීතොටමුල්ල අක්කර දෙකකින් පමණ හිස් භූමියට කසළ බැහැර කිරීමේදී අඩු වියදමකින් පටන් ගෙන කන්ද වැඩිවෙන්න වැඩිවෙන්න විශාල ලෙස මුදල් වැය කිරීම සිදු කර තිබෙනවා. 

උදාහරණයක් විදිහට 2015 දී කසළ ගෙනිහින් දැමීමට පමණක්, පඩි නඩි හැර මිලියන 215 ක් වියදම් කර තිබෙනවා. නමුත් මේ මුදල අරුවක්කාලූ කසළ රඳවනයට ගෙනිහින් දාන්න වියදම් වෙයි කියා අප සිතන්නේ නැහැ.

හුඟ දෙනෙක් චෝදනා කරනවා, කලපුවට කසළ අතහැරලා යනවා, භූගත ජලය විනාශ වෙනවා, ධිවර කර්මාන්තය ඉවරයි ආදී වශයෙන්. නමුත් මේ අරුවක්කාලූවේ ඒ හදපු විද්‍යාත්මක සනීපාරක්‍ෂක කසළ ව්‍යාපෘතිය ගැන100% ක් අපි වගකියනවා.“