පොලීසියෙන් වෙඩි කෑ ආවා සාමාජිකයා

පොලීසියෙන් වෙඩි කෑ ආවා සාමාජිකයා

July 21, 2019   07:37 pm

යාපනය මනිප්පායී ප්‍රදේශයේදි පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් “ආවා” කල්ලි සාමාජිකයෙකු මිය ගියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.  

ඊයේ (20) රාත්‍රි 8.40 ට පමණ යාපනයේ, මනිප්පායි ප්‍රදේශයේ නිවාස කිහිපයකට කිසියම් පිරිසක් පහර දීමට සූදානම් වන බවට මනිප්පායි පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ඉනුවිල් ප්‍රදේශයේදී මනිප්පායි පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පුද්ගලයින් සහ වාහන සෝදිසි කිරිමේ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.

එම අවස්ථාවේදී යතුරුපැදි තුනකින් පුද්ගලයින් හය දෙනෙකු තියුණු ආයුධ සහිතව පැමිණ ඇති අතර පොලිස් නිලධාරින් සැකකරුවන්ව අත් අඩංගුවට ගැනිමට උත්සහ දැරිමේදි ඔවුන් පොලිස් නිලධාරින්ට කඩු වලින් පහර දිමට උත්සහ දැරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

එහිදී එම යතුරුපැදිවලට පොලිසිය වෙඩි තැබීමක් සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජිවිතක්ෂයට පත් වී ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්නම් කවිගජන් නැමැති 22 හැවිරිදි තරුණයෙක්.

කෙසේ නමුත් වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී පැමිණ සිටි සෙසු  පුද්ගලයින් 5දෙනා පළා ගොස් ඇති අතර සැකකරුවන් දමා ගොස් තිබූ කඩු 03ක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

සිදුවීමට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු සිදු කළ අතර මනිප්පායි පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.