එක හඬක්-සුරක්ෂිත රටක් ස්වාධීන ජාතික බලවේගය හා විදේශීය තානාපතිවරුන් අතර සාකච්ඡාවක්

එක හඬක්-සුරක්ෂිත රටක් ස්වාධීන ජාතික බලවේගය හා විදේශීය තානාපතිවරුන් අතර සාකච්ඡාවක්

July 20, 2019   05:09 pm

මෙරට බෞද්ධ ජනතාව ජාතිවාදීන් හෝ අන්තවාදීන් නොවන බවත් ඔවුන් මෙරට අනිකුත් සියලු ජාතීන් සමග සමගියෙන් වාසය කිරීමට උනන්දුවක් දක්වන මධ්‍යස්ථ මතධාරීන් බවත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර ජයසේකර මහතා මෙරට සිටින විදේශීය තානාපතිවරුන් දැනුවත් කරමින් කියා සිටියේය.

කොළඹ තරුණ බෞද්ධ සංගමය නායකත්වය ලබාදෙන “එක හඬක්-සුරක්ෂිත රටක්“ ස්වාධීන ජාතික බලවේගය විසින් ඊයේ (19)  පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙරට තානාපතිවරුන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාවේ මුලසුන දරමින් ජයසේකර මහතා මෙම අදහස් දැක්වීය.

“මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට බෞද්ධ ජනතාවගේ මතය පිටස්තර ලෝකයට සන්නිවේදනය කිරීමයි. 

ලංකාවේ ඉන්න බෞද්ධ ජනතාවගේ හඬ කුමක්දැයි කියා පිටස්තර ලෝකයට පැවසීමේ වගකීමක් කොළඹ තරුණ බෞද්ධ සංගමය විදිහට අපිට තිබෙනවා.

මේ සඳහා තිබෙන හොඳම ක්‍රමය තමයි තානාපති කාර්යාල හරහා පිටස්තර ලෝකය දැනුවත් කිරීම. මේ දක්වා බෞද්ධ ජනතාවගේ මතය පිළිබඳව නිවැරදි දැනුවත් කිරීමක් ලෝකය හමුවේ සිදුකර නෑ.

“නමුත්, අපි දකිනවා අනිකුත් සංවිධාන තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. නොයෙකුත් වේදිකාවල ප්‍රකාශ වන ලෝකයට ගමන් කරමින් තිබෙන සමහර අන්තවාදී අදහස් මෙරට බෞද්ධයින්ගේ මතය නෙවෙයි. 

බෞද්ධයින්ගේ මතය තමයි අනිකුත් සියළු ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයැයි කියන මතය. 

මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා කියන වටිනා ධර්මය තුළ පිහිටා තමයි බෞද්ධ ජනතාව සැමවිටම කටයුතු කරන්නේ.“

මෙහිදී, මහේන්ද්‍ර ජයසේකර මහතා කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් නායකත්වය ලබාදෙන “එක හඬක්-සුරක්ෂිත රටක්.“ ස්වාධීන ජාතික බලවේගයේ න්‍යාය පත්‍රය පිළිබඳව තානාපතිවරුන් දැනුවත් කළේය. 

මෙහිදී, ඔහු පෙන්වා දුන්නේ සෑම කෙනෙකුටම බලපාන එක නීති පද්ධතියක් ඇති කිරීම, සියළු දරුවන් වෙනුවෙන් රජයේ අධීක්ෂණයට යටත් එක් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම, දේශීය ව්‍යාපාරිකයා සහ ගොවියා රැකගැනීමේ පැහැදිලි වැඩපිළිවෙලක් ඇති කිරීම, සියළු ආගම් සඳහා එක් ආගමික අමාත්‍යංශයක් ඇති කිරීම මෙම න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංග බවයි.

ළදරු විවාහ සහ බහු භාර්යා විවාහ වැලැක්වීම මෙන්ම හලාල් සහිතකය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය තුළින් නිකුත් කිරීම ඇතුළු මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමය සමග වැඩ කරන මුස්ලිම් ප්‍රජාව එකඟත්වයකට පැමිණෙමින් තිබෙන බවද කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට කොළඹ සිටින විදේශ තානාපතිවරුන් සහ තරුණ මුස්ලිම් සංගමය, සමස්ත ලංකා හින්දු කොංග්‍රසය සහ කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී විය.