රටේ ප්‍රශ්න ‌රැසක් තිබුණත් දැවැන්ත සංවර්ධනයක් කළා-වජිර

රටේ ප්‍රශ්න ‌රැසක් තිබුණත් දැවැන්ත සංවර්ධනයක් කළා-වජිර

July 11, 2019   09:11 pm

මේ වර්ෂයේ රටේ කොතරම් ප්‍රශ්න තිබුණත් රටේ දැවන්ත සංවර්ධනයක් සිදුවූ බවත් වියදමට වඩා රජයේ ආදායම වැඩිකර ගැනීමට හැකිවූ නිසා සංවර්ධන ව්‍යාපෘති සඳහා විශාල මුලක් වෙන්කිරීමට හැකිවූ බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (11) බත්තරමුල්ල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති දිසාපති සමුළුව අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. 

ඒහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් මේ බව පැවසීය.

''ඉතිහාසයේ පළමු වතාවට අපි රටේ සෑම මැතිවරණ කොට්ඨාසයක ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සෑඹ මැතිවරණ කොට්ඨාසයක ම  රුපියල් ලක්ෂ 3000ක් බැගින් වූ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. 

මෙතෙක් කාලයක් වර්ෂයකට මහජන නියෝජිතයකුට සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ලැබුණේ රුපියල් ලක්ෂ 50ක් 100ක් පමණ වූ මුදලක්. දිස්ත්‍රික් 25හි මේ වනවිටත් ව්‍යාපෘති 25,000ක් ආරම්භ කර තිබෙනවා. 

ක්‍රියාත්මක කිරීමට නියමිත සම්පූර්ණ ව්‍යාපෘති සංඛ්‍යාව 40,000කට වැඩියි. සෑම මහජන නියෝජිතයකුටම තම තමන්ගේ ආසනවල සංවර්ධන කටයුතු සඳහා අමතර රුපියල් ලක්ෂ 500ක මුදලක් ලැබෙනවා. 

ඒ  මුදල් අපේ අමාත්‍යාංශය මඟින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල  සහ ප්‍රාදේශීය ලේකම් සම්බන්ධීකරණයෙන් ව්‍යාපෘති සඳහා යොදවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කිසිම දිනක නොවූ විරූ ආකාරයෙන් සියලුම බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත මුදල් වෙන් කළා. ''