ෂාෆි යළි රිමාන්ඩ්

ෂාෆි යළි රිමාන්ඩ්

July 11, 2019   07:02 pm

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් ලබන 25වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කලේය.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා පැවසුවේ අයතා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනාවල බරපතලකම සහ මහජන කැලඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට  නියෝග කරන බවයි.

කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන් බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වු අගතියට පත් පාර්ශ්වය ඉල්ලා සිටියේ සැකකරු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බැවින් එම පරීක්ෂණ වෙනත් අංශයක් වෙත භාරදීමට පියවර ගන්නා ලෙසයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි අද දින කැඳවූ අතර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ෂාෆි වෛද්‍යවරයා ද අධිකරණය වෙත රැගෙන එනු ලැබුවේය.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාගෙන එම ත්‍රස්ත කටයුතු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළේ යැයි ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනාව සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයට වාර්තා කිරීමෙන් පසු ඊයේ ඔහුට එරෙහිව මාස තුනකට ලබාදී තිබූ රැඳවුම් නියෝගය අවලංගු කළ බවයි. 

ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබූ අයථා වත්කම් චෝදනාව පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම අයථා ලෙස මුදල් උපයාගෙන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වන වැරදි සිදුකළ බවට  සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි කරුණු මේ දක්වා ඔහුට එරෙහිව ඉදිරිපත් වී නැති නමුත් තවදුරටත් විමර්ශන කරන බව ද ඔහු දැනුම් දුන්නේය.

ෂාෆි වෛද්‍යවරයා විසින් කුරුණෑගල රෝහලේදී සැක සහිත සිසේරියන් සැත්කම් සිදුකළ බවට මව්වරුන් 850 කට අධික පිරිසකගෙන් පැමිණිලි ලැබී ඇති අතර එම මව්වරුන්ගෙන් වෙන් වෙන්ව ප්‍රකාශ සටහන් කර, රෝහලේ ඇති ඇද ඉහපත් ලබාගෙන සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළේය.

පසුගිය වසර කිහිපයේ එම රෝහලෙන් වෙනත් වෛද්‍යවරුන් වෙන් වෙන්ව සිදුකළ සිසේරියන් සැත්කම් පිළිබඳ වාර්තාගෙන ඒ වෛද්‍යවරුන් කරනු ලැබූ සැත්කම් ගැන සහ එහිදී ඇති වී ඇතැයි කියන සංකූලතා පිළිබඳ වාර්තාවක් සකස් කළ යුතු බවත්, ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ෂාෆි වෛද්‍යවරයාගෙන් සැත්කම් කර ගැනීමෙන් පසු වසර දෙකක් ඉක්මයනතුරුත්, දරුවන් නොමැති බවට පැමිණිලි කළ මව්වරුන් 147 දෙනා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ලබා දුන් උපදෙස් පරිදි  SHG පරීක්ෂාවක් අනිවාර්යයෙන් සිදු කිරීම සඳහා නියෝගයක් කරන ලෙසත්, ඔහු ඉල්ලා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ වෛද්‍ය ෂාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි කිසිවෙකු විසින් ඉල්ලා අස්කර ගෙන ඇත්නම් එය ඉදිරි විමර්ශන කටයුතුවලට බාධාවක් බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ කිසිවෙකු මෙතෙක් එවැනි ඉල්ලා අස්කර ගැනීමක් සිදුකර නොමැති බවයි.‍

මේ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ගෙවුණු වසර 07 ක කාලය තුළ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් විසි දෙනෙකු විසින් සීසේරින් සැත්කම් 17,600 ක් සිදුකර ඇති අතර ඉන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් එනම් 4372 ක් වෛද්‍ය ෂාෆි විසින් සිදුකර ඇති බවයි. 

මෙලෙස වැඩි සැත්කම් ප්‍රමාණයක් වෛද්‍ය ෂාෆි විසින් සිදු කර ඇත්තේ ඇයි දැයි සී.අයි.ඩී. පරීක්ෂණවල අවධානය යොමු වි නොමැති බව නීතිඥවරුන් පෙන්වා දුන්නේය.

එසේම පැලේපියනාලය තත්පර 10 ක කාලයක් සිරකරගෙන සිටීම එය විනාශ විමට ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මිනිත්තු ගණනක් එය සිරකරගෙන සිටීම අවශ්‍ය නොවන බවත්, ඒ පිළිබඳව නිසි විමර්ශනයක් කර නොමැති බවත් ඔවුන් කරුණු ගෙනහැර දක්වමින් කියා සිටියේය.

මේ අතර මව්වරුන් 147 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත SHG වෛද්‍ය පරීක්ෂණය සිදුකළ යුත්තේ කුමනාකාරයකින් ද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් පස් දෙනෙකුට නොඅඩු කණ්ඩායමක් විසින් නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

එසේම වෛද්‍ය මොහොමඩ් ෂාෆි කුරුණෑගල නගරය ආසන්නයේ රුපියල් කෝටි 4 කට ඉඩමක් මිලදී ගෙන ඇති බවත්, ඔහුගේ එම දේපල ඇතුළු කෝටි ගණනක් වටිනා දේපල රැසක් අඩුවෙන් තක්සේරු කර ඇති බවටත්, කරුණු හෙළි වී ඇතැයි අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ තමාට ද එම තක්සේරු කිරීම් පිළිබඳව ගැටලුවක් පවතින බවයි. 

ඒ අනුව වෛද්‍ය මොහොමඩ් ෂාෆිගේ සියලු දේපල පිළිබඳව තක්සේරු වාර්තාවක් කැඳවන මෙන් රජය තක්සේරු දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවේය.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අගතියට පත් පුද්ගලයින් පිළිබඳ සි.අයි.ඩි. පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා ද සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී ඔවුන් ඉල්ලා සිටියේ සී.අයි.ඩි.යේ වෙනත් නිලධාරීන් කණ්ඩායම් ඉදිරි පරීක්ෂණ සඳහා ලබාදීමට කටයුතු කරන ලෙසයි.