ඌවේ ඉංග්රීසි ගුරු සම්මුඛ පරීක්ෂණ අධිකරණ නියෝගයකින් අත්හිටුවයි
July 11, 2019 05:53 pm
ඌව පළාත් සභාව මඟින් පාලනය වන ඌව පළාතේ පාසල්වලට නවක ඉංග්රීසි උපාධිධාරීන් හා ඉංග්රීසි ඩිප්ලෝමාධාරීන් බදවා ගැනීම සඳහා ඌව පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාව විසින් අද (11) හෙට සහ අනිද්දා සම්මුඛ පරික්ෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
නමුත් බදුල්ල මහාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් සම්මුඛ පරික්ෂණ අවංලංගු කිරීමට රාජ්ය සේවා කොමිෂන් සභාවට සිදු වී ඇත.
ලිඛිත තරග විභාගයට ඉදිරිපත්ව අසමත් වූ 12 දෙනෙක් විසින් පැවැති විභාගය අවලංගු කරන ලෙසට ඉල්ලා බදුල්ල මහාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ මහාධිකරණ තුසිත ගුණසේකර මහතා විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් මෙසේ සම්මුඛ පරීක්ෂණ අවලංගු කර ඇති බව අප වාර්තාකරු පවසයි.
611 දෙනෙකු අයදුම්පත් එවා 570 දෙනෙක් ලිඛිත තරග විභාගකට මුහුණ දුන් බවත් ඉන් සමත්වූ 429 දෙනෙක් මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබූ අතර ඉන් 86 දෙනෙක් බඳවා ගැනීමට සැලසුම් කර තිබූ බවත් ඌව පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා පවසා ඇත.