වෛද්‍ය ෂාෆිගේ නඩුව අද පස්වරු 1 ට-අගතියට පත් මව්වරුන් 500 කුත් රැස්වෙයි

වෛද්‍ය ෂාෆිගේ නඩුව අද පස්වරු 1 ට-අගතියට පත් මව්වරුන් 500 කුත් රැස්වෙයි

July 11, 2019   12:59 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි අද පෙරවුරවේ කුරුණෑගල මහේස්ත්‍රාත්  අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඔහුට එරෙහි නඩුව අද(11) පස්වරු 01ට යළි කැඳවීමට නියමිතයි.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි අද පෙරවුරවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලැබීය.

නඩුව කැඳවුනු ලැබුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් කාරියවසම් මහතා ඉදිරියේයි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 27 වනදා අධිකරණය විසින් විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා‍දෙන ලද නියෝග අනුව සංකීර්ණ තත්ත්වයක් උදා වී ඇති බවයි.

ඒ අනුව බී වාර්තා ඉදිරිපත් කර අධිකරණයෙන් නිශ්චිත නියෝග කිහිපයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වාදී තිබේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුවට පෙනී සිටිය යුතුව තිබුණේ අද නොව මීට පෙර අවස්ථාවේදී බවයි.

කෙසේවෙතත් නඩුව වැඩිදුර සලකා බැලීම අද පස්වරු 01.00 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මේ අතර වෛද්‍ය මොහොමඩ් ෂාෆි  හේතුවෙන් අගතියට පත් මව්වරුන් 500 කට වැඩි පිරිසත් අද පෙරවරුවේ කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයට එක්රැස්ව සිටියේය.

අප වාර්තාකරු පැවසුවේ ඔවුන් පාගමනින් අධිකරණය සංකීර්ණය දක්වා ගමන් කිරීමට නියමිත බවයි.