උතුරු මැද-මධ්‍යම පළාත්වල හඳුනානොගත් ආක්‍රමණිකයෙක්

උතුරු මැද-මධ්‍යම පළාත්වල හඳුනානොගත් ආක්‍රමණිකයෙක්

July 11, 2019   11:31 am

උතුරු මැද පළාතේ සහ මධ්‍යම පළාතේ එළවළු වගා කරන ප්‍රදේශ බොහෝමයක මෙවර එළවළු වගාවට හඳුනා නොගත් රෝගයක් වැළඳීම නිසා වගාවන්  විනාශ වෙමින් පවතින වාර්තා වෙයි.

විශේෂයෙන් උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මෙම රෝග තත්ත්වයන් නිසා විශාල වගා බිම් ප්‍රමාණය විනාශ වීම හේතුවෙන් ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත.

ගොවීන් ප්‍රකාශ කර ඇත්තේ වැල් සහිත වගාවන් මෙයාකාරයෙන් වැඩි වශයෙන් පත්‍ර කොඩ වීම, පත්‍ර කහවීම, කුඩා කාලයේ සිටම ගෙඩි හට නොගැනීම, හටගන්නා ගෙඩිය කුඩා කාලයේම විනාශ වීම ආදී රෝග රැසක් පවතින බවය.

මේ  පිළිබඳව සොයා බැලීම සඳහා දේවහුව, වටගල, කලාවැව, දඹුලු හල්මිල්ලෑව, හබරත්තවල, බුදුගේහින්න, ගල්නෑව, නාවුල, ලග්ගල ,හබරණ, ආදී  ප්‍රදේශවලට ගිය විට මෙහි විශාල වශයෙන් වගා විනාශයන් දැක ගැනීමට හැකි වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, කොමඩු, දඹල, වැටකොළු, බෝංචි, කරවිල, මැකරල්, පතෝල, ආදී එළවලු වලට අමතරව වී වගාවද මෙම රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා වෙයි.

මෙම තත්ත්වය සොයා බැලීම සඳහා මෙතෙක් කිසිදු රජයේ වගකිවයුතු නිලධාරියකු තම ප්‍රදේශයේ ද නොපැමිණි බවට ගොවීන් චෝදනා කරයි.

තම මුදල් මෙන්ම අත කණකර උකසට තබා විවිධ ස්ථාන වලට ණය වී ගොවිතැන් ආරම්භ කළද මේ වනවිට අස්වැන්න හටගන්නා අවස්ථාවේදීම විනාශයට ලක්වන බව ඔවුහු පෙන්වා දී ඇත.

මෙම වගාවන් සඳහා සහනාධාර පොහොර ලබාගෙන ගොවි රක්ෂණ මණ්ඩලයේ රක්ෂණය කොට තිබුණද මෙතෙක් රක්ෂණ වන්දියක් හෝ නොලැබෙන බව ඔවුහු ප්‍රකාශ කර ඇත.

උතුරුමැද පළාතේ සහ මධ්‍යම පළාතේ කෘෂිකර්ම බලධාරීන්ගේ අවධානය කඩිනමින් මේ පිළිබඳව යොමු කරන්නැයි ගොවීහු ඉල්ලා සිටින බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

විෂයභාර කැබිනට් ඇමතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයට අයෙකු වන අතර එම අමාත්‍යාංශයේම රාජ්‍ය අමාත්‍යවරයා මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයෙන් පත්ව ඇති අයෙකි.

එවැනි පසුබිමක මෙම ප්‍රදේශවල ගොවීන්ට සිදුව ඇති මෙම විනාශයන් පිළිබඳව රජයේ බලධාරීන් මෙතෙක් මුණිවත රැකීම පිළිබඳව ගොවීහු සිය කනස්සල්ල පළ කර සිටියි.