උකුසු ඇසට හසු වූ ඖෂධ ජාවාරම

උකුසු ඇසට හසු වූ ඖෂධ ජාවාරම

July 10, 2019   09:28 pm

ගැබිණි මව්වරුන්ට ලබාදෙන ඖෂධ වර්ග මෙන්ම කල් ඉකුත් වූ ඖෂධ වර්ග කූට ලෙස යළි ලේබල් කර වෙළඳපොලට නිකුත් කරන ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණි.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

කලකපටන් ඉතා සූක්ෂ්ම ලෙස කැලණිය දුම්රියපල අසල පිහිටි ගොඩනැගිල්ලක නීති විරෝධී අයුරින් කල්ඉකුත් වූ ඖෂධ යලි ලේබල් කර වෙළඳපොලට නිකුත් කරන බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණි.

ඒ අනුව අප එම ස්ථානයට ළඟාවන්නේ ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන් හා පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ද සමගින්ය.

එහිදී මෙම ආයතනයේ නිලධාරියාට දුරකතන ඇමතුමක් ලබාදී එම ස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දුන් අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් ගොඩනැගිල්ල තුළ නොමැති බවයි.

අනතුරුව නිලධාරීන් පිරිස සමඟ අප ගොඩනැගිල්ල තුළට යන විට එහි ස්ථාන රැසක ඖෂධ ගොඩගසා තිබුණි.

පසුව සිදුකළ සොයාබැලීමේදී දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වූ මෙහි හිමිකරු ද එහි සිටියේය.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ 2011 වසරේදී කල් ඉකුත් වූ ඖෂධ ද එහි ඇති බවයි.

මෙහිදී ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන කල්ඉකුත් වූ ඖෂධ වරගයක් ද සොයාගත්තේ යලි වෙළඳපොලට යැවීම සඳහා සූදානම්කර තිබියදීයි.

මෙහිදී ප්‍රතිජීවක ඇතුළු ඖෂධ වර්ග 10ක්, සොයාගත් අතර මෙම ස්ථානයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලපත්‍රයක් ද නොමැති බව අනාවරණ වුණි.

මෙහිදී අත්අඩංගුවට ගත් ඖෂධ තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්නයි.

මුදලට ලොබවී මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන ‍මෙවැනි කූට ක්‍රියා ඉදිරියේදීත් නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සා සූදානම්.