රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

July 5, 2019   01:28 pm

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වුණි.

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.‍

උලපනේ සුමංගල හිමියන් කියා සිටින්නේ විදේශිකයින්ට මෙරට භූමියේ අයිතිය පවරා දීම සඳහා වත්මන් රජය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

මෙම පනත් කෙටුම්පත හරහා මෙරට පවතින ඕනෑම ඉඩමක් නිදහසේ විකුණා දැමීමට ජනතාවට අවකාශ සැලසෙන බව පෙන්වා දෙන සුමංගල හිමියන් එය දැඩි අනතුරුදායක තත්ත්වයක් බව කියා සිටියි.

ඉඩම් විෂයට අදාළ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දිවයිනේ සියලු පළාත් සභා වලින් ඒ පිළිබඳව අදහස් ලබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදුකළ යුතු  අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද එසේ පළාත් සභාවලින් අදහස් ලබා ගැනීමට රජය කටයුතු කර නොමැති බව ද උන් වහන්සේ චෝදනා කළේය.

ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉදිරිපත් කර තිබෙන මෙම පනත් කෙටුම්පතේ වගන්ති බොහොමයකින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව පෙන්වාදෙන පෙත්සම්කාර හිමියන් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලා තිබේ.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සිසිර ජයකොඩි සහ උදය ගම්මන්පිල යන ඒකාබද්ධධ විපක්ෂයේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරු මෙන්ම නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත මහතා විසින්ද ඊයේ දින ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් තුනක් ගොනු කර තිබුණි.