දඹුලු ඔයේ මහාපරිමාණ වැලි ජාවාරම

June 19, 2019   07:40 am

දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ සිට කලා වැව දක්වා ජලය රැගෙන යන දඹුලු ඔයේ මහාපරිමාණ වැලි ජාවාරම්කරුවන් නිසා දැඩි හානි සිදුවන බවත් මේ පිළිබඳව කිසිදු බලධාරියකුගේ අවධානය යොමු නොවන බවට ප්‍ර දේශවාසින් චෝදනා කරයි.

දඹුලු ඔයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගල්කිරියාගම මහවැලි කලාපයයේ කෝන්පලයාගම ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් සියලු ආදිපත්‍ය පතුරුවා ගනිමින් වැලි ජාවාරම සිදු කරන බවත් මහවැලි රක්ෂිතයට අයත් කැලෑබද ප්‍රදේශ එළිපෙහෙළි කරමින් වන විනාශයක් සිදු කරන බවටද ඔවුන් පවසයි.

ජාවාරම්කරුවන් රිසි සේ තම ජාවාරම සිදුකර ගෙන වැලි රැගෙන යන ආකාරයත් රහසිගතව ඡායාරූප ගැනීමට සහ වීඩියෝගත කර ගැනීමට අප වාර්තාකරුවන්ට හැකි වී ඇත.

එමෙන්ම මහවැලි රක්ෂිතයට අයත් වටිනා භූමි භාග බොහෝ දෙනෙකු අත්පත් කරගෙන තිබෙන ආකාරයත් ඉතා වටිනා ගස්කොලන් පුළුස්සා මරා දැමීමේ සිදුකෙරෙන ආකාරයත් දැක ගැනීමට හැකියාව ලැබිණි.

මෙම රක්ෂිතයේ ගොවිතැන් බත් කරන ගොවීන් ගෙන්  රහසිගතව විමසීමේදී ඔවුන් කියා සිටියේ මහාපරිමාණ වැලි ජාවාරම්කරුවන් තම බලය පතුරුවමින් සිටින බවත් වැලි ජාවාරම් පිළිබඳව අත්අඩංගුවට ගැනීමට එන  නිලධාරීන්ට විවිධ  සන්තෝසම්  ලබාදී පිටව යන බවය. 

එමෙන්ම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් ස්ථාන දෙකකට අවසර පත්‍ර ලබා දී එම අවසර පත්‍ර වලට මුවාවී දඹුලු ඔය දෙපස විශාල වශයෙන් වැලි ජාවාරමේ නිරතවන බවද ඔවුන් පවසති.