පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපුරක ඇස්තමේන්තුව ඉවත් කර ගනී

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපුරක ඇස්තමේන්තුව ඉවත් කර ගනී

June 18, 2019   11:54 pm

 

විපක්ෂ නායක වරයාට සහ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාට වාහන මිලදී ගැනීමටත්, රාජ්‍ය ව්‍යවසාය හා කන්ද උඩරට අමාත්‍යවරයාට නිල නිවසක් ඉදිකිරීමටත් රුපියල් මිලියන සියයක මුදලක් ඉල්ලා අද (18) පාර්ලිමේන්තුවට පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරි පත් කෙරුණි.

නමුත් එහි වැරදි තොරතුරු ඇතුළත් බවට  මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධය නිසා එය ඉල්ලා අස්කරගනු ලැබුවේය. 

කෙසේ වෙතත් පසුව සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ හිටපු අමාත්‍යවරුන් වෙනුවෙන් මෙම ගෙවීම් සිදුකර ඇති බවයි.

ඒ අනුව ඉල්ලා අස්කර ගනු ලැබූ  පරිපූරක ඇස්තමේන්තුව නැවත ඉදිරිපත් කිරීමට සභානායකවරයා තීරණය කළේය.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂ සහිත පරිපූරක ඇස්තමේන්තුව රුපියල් මිලියන 100 ක් විය.

මේ සම්බන්දයෙන් අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමු‍ණ් පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් හානී සිදු වු ජනතාවට  වන්දි ගෙවීමට කටයුතු නොකර මෙලෙස ආමාත්‍යවරුන්ට සහ විපක්ෂ නායකවරයාට මුදල් වෙන් කරන්නේ කුමන පදනමකින්ද බවයි.