වැඩිම ඩෙංගු ගාල්ලෙන්-රෝගීන් 2820ක්

වැඩිම ඩෙංගු ගාල්ලෙන්-රෝගීන් 2820ක්

June 18, 2019   11:18 pm

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝගීන් දෙදහස් අටසිය විස්සක් (2820) වාර්තා වී ඇතැයි  ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කරයි.

ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින්   පස්දෙනෙකු මියගොස්  ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ගාල්ල  නගර සීමාව, අම්බලන්ගොඩ,  බලපිටිය, හික්කඩුව, හබරාදුව ආදී ප්‍රදේශයන්හි මේ වන විට  ඩෙංගු බව  සැකකරන මෙම රෝගීන් බහුලව වාර්තා වී ඇති  බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

 ගාල්ල නගර සභා සීමාවේ  ඩෙංගු බවට සැකකරන ගාල්ලේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව  හත්සිය විසිපහක් යයිද අම්බලන්ගොඩ නගර සීමාවෙන්  රෝගීන්  තුන්සිය අසූපහක්ද,  හික්කඩුව  නගර සීමාවේ රෝගීන් දෙසීය  විසිහත් දෙනෙකුද වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

 ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ  අද (18) ගාල්ල  දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී  පැවති ඩෙංගු රෝගය මර්දනය කිරීම වෙනුවෙන්  පැවති  සෞඛ්‍ය හා පළාත් පාලන ආයතන  ප්‍රධානීන්ගේ රැස්වීමකදීය.

 දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ  ප්‍රධානත්වයෙන්  මෙම  රැස්වීම පැවැත්විනි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බවද  ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිර යාම  වැළක්වීමට වහාම කාර්ය සාධක බලකායක් අද සිටම පත් කරන බවද කීර්ති තෙන්නකෝන් මහතා  මෙහිදී සඳහන් කළේය.