සංචාරක වීසාවෙන් ඩුබායි රැකියා මැවූ උප ඒජන්ත දැලේ

සංචාරක වීසාවෙන් ඩුබායි රැකියා මැවූ උප ඒජන්ත දැලේ

June 18, 2019   09:59 pm

සංචාරක වීසා යොදාගනිමින් නීති විරෝධි අයුරින් ඩුබායි රාජ්‍යයේ පිරිසිදු කරන්නියන් වශයෙන් රැකියා සදහා කාන්තාවන් සිව් දෙනෙකු යැවීමට තැත්කළ උප ඒජන්තවරයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජූනි මස 11 දින මොවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. 

ඔහු විසින් සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමුකිරීම සඳහා හලාවත හා මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචි කාන්තාවන් සිව් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 2 බැගින් මුදල් ලබාගෙන ඇති අතර, ඔහු විසින්ම කාන්තාවන් ඩුබායි රටට රැගෙන ගොස් රැකියාවලට යොදවන බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 2019.06.12 දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී වරද පිළිගෙන අයකරගත් මුදල් නැවත රැකියා අපේක්ෂකයින්ට ලබාදීමට එකඟ වූ හෙයින් රු.10000ක මුදල් ඇප හා පුද්ගල ඇප 2ක් මත මුදාහැර තිබේ.

මෙම වැටලීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ හා කළමනාකරු (විශේෂ විමර්ශන) සහකාර පොලිස් අධිකාරී අශෝක ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂක අනුරුද්ධ, පොලිස් සැරයන් ජයන්ත කුමාර හා කාර්යාංශ නිළධාරී ජාලිය හෙට්ටිආරච්චි යන නිලධාරීන් එක්ව ඇත.