රණ්වීර් කොළඹට

රණ්වීර් කොළඹට

June 18, 2019   09:55 pm

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද ( 18) කොළඹ වරායට ‍සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. 

නෞකාව වරායට පැමිණිමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී වන කපිතාන් චෙතන් චන්ද්‍රරෙව් බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. 

දිගින් මීටර් 146 ක් වන ‘රණ්වීර්’ නෞකාව ටොන් 4560 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 273 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. 

තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත. 

ඒ අනුව සංචාරය නිමා කිරීමෙන් අනතුරුව 2019 ජුනි 20 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.