රුපියල් බිලියනයක වන්දි ඉල්ලා රාජිතගෙන් එන්තරවාසියක්

රුපියල් බිලියනයක වන්දි ඉල්ලා රාජිතගෙන් එන්තරවාසියක්

June 18, 2019   09:49 pm

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (17) දින පැවැත් වූ මාධ්‍ය හමුවේ දී ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බවත්, එමගින් තම කීර්තිනාමයට කැළලක් වූ බව ප්‍රකාශ කරමින් රුපියල් බිලියනයක වන්දි මුදලක් පුද්ගලික වන සේ ඉල්ලමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නීතිඥයින් මගින් එන්තරවාසියක් එම සංගමයට යොමු කිරීමට තීරණය කර ඇත.

 තවද මෙම මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට එරෙහිව ද එන්තරවාසි යොමු කිරීමට නියමිතය.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෑතක දී සිදු කරන ලද ද්වේෂ සහගත සහ අසත්‍ය ප්‍රකාශ කෙරෙහි ද අවධානය යොමු කිරිමට නියමිතය.

 එම සංගමය කර ඇති ප්‍රකාශ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා නීතිඥවරුන් පිරිසක් සමඟ කළ සාකච්ඡාවකින් පසු ඔවුන්ගේ උපදෙස් මත පළමුව රුපියල් බිලියනයක වන්දි  මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමු කිරීමට ද දෙවනුව නඩු පැවැරීමට ද තීන්දු විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ට විරුද්ධව විවිධ ප්‍රකාශ සිදු කළ බවත්, වෛද්‍ය සංගමයේ නිල නාමයට ගරු කරමින් ඊට එරෙහිව ක්‍රියාමාර්ග නොගත් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. 

නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිප දෙනෙකු විසින් මාධ්‍යහමු පවත්වමින් සිදු කරන අසත්‍ය සහ ද්වේෂ සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් මින් ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.