බීඩි කොළ කිලෝ 1638ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

බීඩි කොළ කිලෝ 1638ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

June 18, 2019   04:47 pm

බීඩි කොළ කිලෝග්‍රෑම් 1638.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද(18) අළුයම කල්පිටිය, කළපු ප්‍රදේශයේ  සහ මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදු කළ ‍සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 1638.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය, කළපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී පාර්සල් 35 ක බහා තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1160 ක් සමඟ සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරුවන් වයස අවුරුදු 35 සහ 42 වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හදුනාගෙන ඇති බව වාර්තා වෙයි. 

මෙම බීඩී කොළ තොගය ‍ඩිංගි යාත්‍රාවක් මඟින් මෙරටට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ කරයි. 

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

එමෙන්ම උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, තාල්පාඩු වෙරළ තීරයේ සිදුකළ සෝදිසි කිරීමකදී පාර්සල් 15 ක බහා තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 478.8 ක් සමඟ සැකකටයුතු පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 28 ක් වන මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ බීඩිකොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව මෙම වසර තුළදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 15500 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදා පවසයි.