කාත්තන්කුඩි පොලීසියේ ස්ථානාධිපතිවරයා විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි
June 18, 2019 02:27 pm
කාත්තන්කුඩි වත්මන් පොලිස් ස්ථානාධිපතිවරයා පාස්කු දින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි.
පස්වරු 02.00 ට කාරක සභාවේ කටයුතු ආරම්භ වූ අතර කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.පී. කස්තුරිආරච්චි මහතා මේ වන විට කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
2017 වසරේ අගෝස්තු මස පළමුවනදා තමන් කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරි භාරගත් බව සදහන් කළ කස්තුරිආරච්චි මහතා එවකට ප්‍රදේශය සාමකාමී වාතාවරණයක් පැවති බව කියා සිටියේය.
සහරාන් හෂීම් සහ ඔහුගේ සහෝදරයා ඒ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට තොරතුරු වාර්තා වු බවයි කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
තමාගේ කාලය තුළ ඔවුන් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බව ද විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේය.
කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.පී. කස්තුරිආරච්චි මහතා තවදුරටත් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටින අතර කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර මහතා ද අද දිනයේ කාරක සභාව හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදීමට නියමිතයි.
එමෙන්ම කාත්තන්කුඩි ප්‍රදේශයේ නොසන්සුන් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් සහරාන් හෂීම් නැමති පුද්ගලයා ඇතුළු තිදෙනෙකුට නඩක් තිබු බව කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
අද(18) දිනයේ දී ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙක් සහභාගී වන අතර එයින් දෙවන සාක්ෂිකරු වන්නේ කාත්තන්කුඩි පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා බව වාර්තා වෙයි.
මීට අමතරව මුස්ලිම් සංවිධානයක නියෝජිතයින් පිරිසක් විශේෂ කාරක සභාව හමුවේ අද පෙනී සිටීමට නියමිත බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය.
අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර පිළිබද සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වනවරට රැස්වන අතර පෙර අවස්ථා හතරේදී පාර්ශ්ව කිහිපයක්ම සාක්ෂි ලබාදීම සඳහා කැඳවනු ලැබුවේය.
ඒ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්ය.