සමෘද්ධි දුප්පත්කම පවත්වා ගෙන යන ව්‍යාපාරයක් බවට පත් වුණා-තලතා

සමෘද්ධි දුප්පත්කම පවත්වා ගෙන යන ව්‍යාපාරයක් බවට පත් වුණා-තලතා

June 18, 2019   01:23 pm

සමෘද්ධිය තුළින් අහිංසක මිනිස්සු සවිබල ගැන්වීම වෙනුවට හැමදාම දුප්පත්කම පවත්වා ගෙන යමින් මෙම අහිංසක ජනයාව ඇතැම් පිරිස් මෙහෙයවන ක්‍රියාදාමයකට අවතීර්ණ වී සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරීය මෙම අදහස් පළ කළේ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ දිවයින පුරා පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේ වැඩ සටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභින් සදහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ අවස්ථාවට පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලයේදී එක්වෙමිනි.

මැතිවරණ කාලයක් පැමිනි විට මෙම අහිංසක ජනතාවගේ ආත්ම ගරුත්වය බත් පැකට්ටුවට සහ අරක්කු බෝතලේට විනාශ කරන යුගය වෙනස් කරන බව ඒ මහත්මිය ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

" 1991 රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන් ආරම්භ කළ ජනසවිය ව්‍යාපාරයෙන් පසුව දේශපාලනයෙන් තොරව සාධාරණව ලැබිය යුතු දුප්පත්කම නැති කරන්නට අහිංසක ජනතාවට ලබා දෙන පළමුවන වතාවයි.එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනසවිය පටන් ගත්තේ අහිංසක අඩු ආදායම්ලාභි උදවියට අවුරුදු 2 ක් ජනසවිය ලබාදීලා අවුරුදු 2ක් අහාර මල්ලක් ලබා දීලා ඒ අයගේ ජීවිත සවිබල ගැන්වීමක් කරන්න.

එදා සවිබල ගැන්වුනු ව්‍යාපාරයක් 1994 න් පස්සේ දේශපාලනීකරණය කළා.මෙතන අද ඉන්න 4500 අතුරින් ඉතාම අඩු ආදායම්ලාභී අයයි.තමන්ට කර කියා ගන්න දෙයක් නැතිව දේශපාලන පළිගැනීමට ලක්වු උදවිය අද මෙතන ඉන්නවා .

සමහර වෙලාවට එක්සත් ජාතික පාක්ෂිකයන් වීම නිසාම මේ හිමිකම නැති වුණා.සමහරු මේක දේශපාලන අතකොලුවක් බවට පත් කර ගත්තා.දුප්පත්කම පවත්වා ගෙන යන ව්‍යාපාරයක් බවට සමෘද්ධි ව්‍යාපාරය පත් වුණා .

අහිංසක මිනිස්සු සවිබල ගැන්වීමේ ව්‍යාපාරය වෙනුවට හැමදාම දුප්පත්තම පවත්වා ගෙන යන ව්‍යාපාරයක් බවට පත් වෙන කොට එක පිරිසක් මේ අහිංසක මිනිස්සුන්ව මෙහෙයවන ක්‍රියාදාමයකට අවතීර්ණ වෙලා හිටියා.

94 ඉදලා අවුරුදු 25 කට පස්සේ හරි දයා ගමගේ ඇමතිතුමනි ඔබතුමාගේ මැදිහත්වීමෙන් 2015 අපි යහපාලන රජය ඇති කරලත් කරපු නැති දෙයක් අද අපිට ලැබිලා තියෙනවා.94 ඉදලා එක්සත් ජාතික පක්ෂයේ අයට ජනතා විමුක්ති පෙරමුණේ අයට විතරක් නෙවෙයි විවිධ හේතු නිසා ඒ පක්ෂයේ අයටත් මේක නොලැබී ගියා.අද එහෙම දෙයක් නැහැ .

අපේ ප්‍රාදේශීය ලේකම්තුමන්ලාගේ මැදිහත්වීමෙන් අද සුදුසුකම විතරක් බලලා තියෙන්නේ.අද විසි පන්දාහකට රත්නපුර දිස්ත්‍රික්යේ ලබාදීලා තිබෙන වෙලාවක තවත් සුදුසුකම බලලා ලබා දෙනවා .තවත් අසාධාරණයට ලක් වෙලා තිබුණහොත් ඒ අයටත් දයා ගමගේ ඇමතිතුමාගේ මුලිකත්වයෙන් ලබා දෙනවා.

මේ වැඩ පිළිවෙල දුප්පත්කම පවත්වා ගෙන යන්න නෙවෙයි.මේ දෙන දීමනාව හරහා අඩුම තරමේ දුප්පත්කම නැති කර මේ හැම කෙනෙක්ම සවිබල ගැන්වෙන තවත් කෙනෙක්ට අත නොපා එහෙම නැත්නම් මැතිවරණ කාලයක් ආවහම මේ අහිංසක මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වය බත් පැකට් එකටයි අරක්කු බෝතලේටයි විනාශ කරන කොටසක් ඉන්න රටක ඒක වෙනස් කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

මේ දිස්ත්‍රික්කය නිතර ආපදාවට ලක් වෙනවා කිවලා අපි සියලු දෙනාම දන්නවා.යහපාලනය ආව දවසේ ඉදලා අපේ රජය නොයෙකුත් විදිහේ ආපදාවලට මුහුණ දුන්නා .මම හිතන්නේ අපි සියලුම දෙනාටම උපරිම වශයෙන් සාධාරණය ඉටු කරන නිසා වෙන්න ඇති.සමහර වෙලාවට ස්වභාව ධර්මයා අපිට විරුද්ධ වෙලා කුණු කදු කඩා වැටුණා නාය ගියා ගංවතුර ආවා .

මේ හැම එකක්ම මෙහෙම වෙන කොට ගිය අවුරුද්දේ ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවත් හොරෙන් ගන්න හැදුවා .මේ හැම අභියෝගයකටම පස්සේ අප්‍රේල් 21 වැනිදා අපි කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති තත්වයකට මුහුණ දෙන්න සිදු වුණා .මේ රජය පත් වුනු කාලය තුළ ජනතාවට හිතකර පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ අපි ඔබ සියලු දෙනාටම කරන්න තියෙන හැම දේම අපි කරනවා.

රටේ නීතිය ක්‍රියාත්මක වෙන කොට හරි මනුස්සයාට තමන්ට සුදුසු තැන ලබා දෙන කොට මාධ්‍යවේදීන්ට අද ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් විවේචනය කරන්න පුළුවන්.පුද්ගලික මාධ්‍ය ඇති කරන්න පුළුවන් තත්වයකට ඔන කෙනෙකුට නිදහස ලබා දීලා තියෙනවා .අපි ආත්ම තෘප්තියෙන් යුතුව වැඩ කරන්නේ හැමදාම බලයේ ඉන්න බලා ගෙන නෙවෙයි කරපු වැඩේ කරන්න තියෙන වැඩේ හරියට කරන රජයක් ලෙස අපේ යුතුකම් කරනවා.

මම දැක්කා මේ උත්සවය ගැන නොයෙකුත් විවේචන කරලා තියෙනවා .සමහර පිරිසක් කොළඹත් ගිහිල්ලා වර්ජනය කරන්න උත්සාහ කරලා තියෙනවා. මට කියන්න තියෙන්නේ මොන දේ කළත් ඕනම අභියෝගයකට මුහුණ දීමේ හැකියාව අපිට තියෙනවා.ඒ වගේම මිනිස්සුන්ට තියෙන හැමදේම කරනවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හේෂා විතානගේ, ඒ. ඒ. විජේතුංග යන මහත්වරුන් පළාත් සභා මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් එක් විය."