වවුනියාවේ ජලාශවල මසුන් මිය ගියේ ඇයි?

වවුනියාවේ ජලාශවල මසුන් මිය ගියේ ඇයි?

June 18, 2019   09:54 am

වවුනියාව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් මේ වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ වැවි කිහිපයක මසුන් මැරී යාමේ තත්ත්වයක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

වවුනියාව මූනාමඩුව වැවේ මසුන් දින ගණනාවක සිට මිය යමින් සිටින අතර ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ වැවේ ජලයද ශීඝ්‍රයෙන් පහත බැස ඇති අතර ඒ හේතුවෙන් මසුන් මිය යන බවට තමන් විශ්වාස කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය දැනුවත් කළ අතර, ඊයේ (17) වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැමිණ මසුන් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇත.

වැව පරීක්ෂා කළ වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරිවරුන් පැවසූවේ වැවේ ජලය අඩුවීම හේතුවෙන් වැව් ජලය රත්වීම හා ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය අවමවීම හේතුවෙන් මසුන් මියගොස් ඇති බවට සැක පළ කරන අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.