චීනයේ භූ කම්පනයෙන් 6ක් මරුට
සයුරෙන් එතෙර

චීනයේ භූ කම්පනයෙන් 6ක් මරුට

June 18, 2019   09:34 am

චීනයේ සිචුවාන් පළාතට බලපෑ භූ කම්පනයකින් පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉන් තවත් 70කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද විදෙස් වාර්තාවල සඳහන්ය.

සිචුවාන් පළාතේ යීබින් නගරය ආශ්‍රිතව අද අළුයම තුනයි තිහට පමණ භූ කම්පනයක් හටගත්තේය.

එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණය ඒකක හයයි දශම බින්දුවක් ලෙස සටහන්වූ අතර අපිකේන්ද්‍රය කිලෝමීටර් 16ක් ගැඹුරින් සටහන්ව තිබුණි.

එය දිස්ත්‍රික්ක කිහිපයකටම තදින් දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ සමග පසු කම්පන හතරක් පමණ සිදුව ඇතැයිද සඳහන්ය.

භූ කම්පනය හේතුවෙන් ගොඩනැඟිලි රැසක් කඩාවැටී ඇති අතර තවත් දේපළ රැසකට හානි සිදුව තිබේ.

සිදුවීමත් සමඟ අදාළ ප්‍රදේශයේ කඩිනමින් සහන සේවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

එමෙන්ම විපතට පත් පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටත් මේ වන විට පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් ඇතැම් ප්‍රදේශවල සහන සේවා කටයුතු සඳහා වර්ෂාවෙන් බාධා මතුව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.