ඉවත් වු මුස්ලිම් මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක-කැබිනට් මණ්ඩලයත් අද රැස්වෙයි

ඉවත් වු මුස්ලිම් මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක-කැබිනට් මණ්ඩලයත් අද රැස්වෙයි

June 18, 2019   07:30 am

ධුරවලින් ඉවත් වූ ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද(18) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඉදිරියේ දී ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්රතහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා හේතුවෙන් ආණ්ඩුවේ  මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පසුගියදා සිය ධුරවලින් ඉල්ලා අස්විය.

කෙසේවෙතත් ඉල්ලා අස්වු ඇතැම් අමාත්‍යවරුන්ට නැවත අදාළ ධුරවල කටයුතු කරන ලෙස විවිධ පාර්ශවවලින් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

ඒ පිළිබඳව සහ ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව අද දිනයේ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර අද පෙරවරවේ සාමාන්‍ය පරිදි කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව තිබේ.

සෑම සතියේ දිනකම අඟහරුවාදා පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව තිබුණ ද පසුගිය අගහරුවාදා දිනයේ එම රැස්වීම නොපවත්වනු ලැබීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු නතර කරන තුරු කැබිනට් මණ්ඩලය රැස් නොකරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබු බව ද මාධ්‍ය වාර්තා පල වී තිබුණි.

කෙසේවෙතත් අද පෙරවරුවේ සාමාන්‍ය පරිදි කැබිනට් රැස්වීම සඳහා ආරාධනා කර ඇති බව රජයේ අරංචි මාර්ග සඳහන් කළේය.