කාත්තන්කුඩි ස්ථානාධිපති හා හිටපු ස්ථානාධිපති විශේෂ කාරක සභාව හමුවට

කාත්තන්කුඩි ස්ථානාධිපති හා හිටපු ස්ථානාධිපති විශේෂ කාරක සභාව හමුවට

June 18, 2019   07:01 am

අප්‍රේල් 21 වන දින මෙරට විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද(18) දිනයේ කතානායක කරු ජයසූරිය මහතා හමුවීමට නියමිතව තිබේ.

එම කාරක සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සිදුකළ ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වෙන බව වාර්තා වෙයි.

අද පෙරවරු 11.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම හමුව පැවැත්වීමට නියමිත බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

දැනට සේවයේ නියුතු බුද්ධි අංශ නිලධාරීන් විශේෂ කාරක සභාව හමුවට කැදවීමේ දී මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ත්‍රෛනිකායික භික්ෂු නියෝජිතයින් පිරිසක් අද දිනයේ  කථානායක කරුජයසූරිය මහතා හමුවීමට නියමිතව තිබේ.

පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම යමුව පැවැත්විමට නියමිත බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

මේ අතර මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරුවේ යළි රැස්විමට නියමිතව තිබේ.

පස්වරු 2.00ට විශේෂ කාරක සභාව රැස්වීමට නියමිත අතර අද දිනයේ කාත්තන්කුඩි පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මීට අමතරව මුස්ලිම් සංවිධානයක නියෝජිතයින් පිරිසක් විශේෂ කාරක සභාව හමුවේ අද දිනයේ පෙනී සිටීමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය.

අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව ද රැස්වීමට නියමිතව තිබේ.