සංක්‍රමණිකයින් වෙනුවෙන් නිමවූ සිතුවමක්
සයුරෙන් එතෙර

සංක්‍රමණිකයින් වෙනුවෙන් නිමවූ සිතුවමක්

June 17, 2019   12:51 pm

සංක්‍රමණිකයින් වෙනුවෙන් නිමවූ සිතුවමක් පිළිබඳව ප්‍රංශයෙන් වාර්තා වෙයි.

සංක්‍රමණිකයින්ට සහය පළකරමින් නිමවූ දැවැන්ත සිතුවමක් ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුන පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කෙරුණි.

මේ සිතුවම නිර්මාණය කළේ ප්‍රංශ කලා ශිල්පියෙකු වන සයිප් (Saype) විසින්.

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණිකයින් මුදාගැනීම වෙනුවෙන් ඉදිරිපත් වන SOS පුණ්‍ය ආයතනයට සහය පළකිරීම අරමුණු කරගෙන මෙය සිතුවම් කර ඇති බව සඳහන් වෙයි.

අයිෆල් කුලුන පරිශ්‍රයේ උද්‍යානයක නිමවූ මේ සිතුවමේ සිය අරමුණු සාක්ෂාත් කරනු වස් අත්වැල් එකිනෙක බැඳී ඇති අයුරු දැක්වෙන රූපයක්  චිත්‍රණය කර ඇති අයුරු දැකගත හැකියි.

සයිප් ගේ බියොන්ඩ් වෝල්ස් ("Beyond Walls") ව්‍යාපෘතියට සමගාමීව මෙම විශිෂ්ට කලාකෘතිය නිර්මාණය කර තිබේ.

එය දැකගැනීමට විශාල පිරිසක් පැමිණෙන බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් උද්‍යාන භූමියේ තණකොළ වර්ධනය වීමෙන් සහ නරඹන්නන්ගේ පාද ස්ඵර්ශ ලැබීමෙන් මෙම සිතුවම තවත් දින කිහිපයකින් නොපෙනී යනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සිය ව්‍යාපෘතිය ලෝකයේ තවත් නගර 20ක් ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කිරීම සයිප් ගේ අපේක්ෂාවයි.
ජිනීවා, බර්ලින්, ක්‍රයිස්ට්චර්ච්, ලන්ඩන්, නිව් යෝර්ක් ඇතුළු ලෝකයේ ප්‍රධාන නගර ඒ අතර වෙයි.

මේ වනවිට 30 හැවිරිදි වියේ පසුවන කලා ශිල්පියා කලක් එරට පුහුණු හෙද නිලධාරියෙක් ලෙස ද කටයුතු කළේය.

කෙසේ වෙතත් සම්පූර්ණ කාලය කලා කටයුතු වෙනුවෙන් යෙදවීමට ඔහු මෑතකදී සිය වෘත්තීය ජීවිතයට සමුදුන්නේය.

මේ අතර ලෝකයේ වඩාත් ම බලපෑම් කළ හැකි තරුණ කලා ශිලිපියෙක් ලෙස ෆෝබ්ස් සඟරාව ඔහු නම්කර තිබේ.