ජනිපෙන් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයට ලිපියක්

ජනිපෙන් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයට ලිපියක්

June 17, 2019   12:17 pm

මුස්ලිම් ජනතාව පීඩාවට පත්වන ආකාරයට සමාජයේ ප්‍රචලිත කෙරෙන මතවාද නිවැරදි කිරීම සහ සමස්ත සමාජය සුවපත් කිරීම සඳහා සිය මැදිහත්වීම අවශ්‍ය බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් විසින් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

එහිදි මුසම්මිල් මහතා පවසා ඇත්තේ තව්හීද් ජමාත් වැනි සංවිධාන තුළ දක්නට ලැබෙන අන්තවාදී ප්‍රවණතාව කුමක්දැයි පොදු මහජනයාට අවබෝධයක් නොමැති බවයි.

එසේම එවැනි අන්තවාදී ප්‍රවණතාවයන් සහ සැබෑ ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජනතාව අතර පවතින වෙනස කුමක්දැයි පොදු මහජනයාට අවබෝධයක් නොමැති බැවින් එම අන්තවාදි පිරිස විසින් සිදු කරන ප්‍රකාශ සම්බන්දයෙන් යම් කිසි පියවරක් ගත යුතු බවද ඒ මහතා එම ලිපියේ සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා එල්ල කෙරුණු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරවලට වගකිව යුත්තෝ ඉස්ලාම් ආගම අදහන යම් අන්තවාදී පිරිසක් බව දැන් සමාජය තුළ තහවුරු වී ඇති බව රහසක් නොවන බැවින් ඇතැම්විට සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාවට එයින් බලවත් අසාධාරණයක් ද සිදුවන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

ඒ අතර මද්‍රසා සහ අරාබි පාසල් රටේ අධ්‍යාපන පද්ධතියට පිටින් පවතින බවට හා නියාමනයක් නොමැති බවට විවේචනයක් එල්ල වී ඇති බවත්එය ඉතාම බරපතළ චෝදනාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

එනම් මෙම පාසල්වල ඉගැන්වීමට විදේශීය රටවල් වලින් පැමිණෙන ආගමික අන්තවාදී දේශකයන් විසින් මුස්ලිම් දරුවන්ගේ මනසට අන්තවාදය ඇතුළු කරන බවට ය. 

එම චෝදනාවට අදාළ තොරතුරු රාශියක් සමාජගත වී ඇති බැවින් එය අන්තවාදයට විරුද්ධ සහ සාමකාමී සෙසු ජාතීන් සමඟ සංහිඳියාවෙන් ජීවත් වීමට කැමති සාමාන්‍ය මුස්ලිම් ජනතාවට බලවත් අසාධාරණයක් හා කම්පනයක් ඇති කරන බවද ඔහු පෙන්වා දෙයි. 

එම තත්ත්වය නිවැරැදි කිරීම සඳහා එනම් සත්‍ය කුමක්දැයි රටට හෙළි කිරීමේ බරපතළ වගකීමක් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ පැවරී ඇති බවද මුසම්මිල් මහතා එම ලිපියේ සඳහන් කර ඇත.

තවද ශ්‍රී  ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම, මුස්ලිම් දේවස්ථාන පිළිබඳව, මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳව මෙන්ම මුස්ලිම් සමාජය තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් සමාජ සංවාදයක් ගොඩනැගී ඇති මොහොතක සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ වැනි සංවිධානයක් එම මතවාදවලට අදාළ පිළිතුරු නොදීමෙන් ජාතීන් අතර විරසකය තව තවත් වැඩි විය හැකි බවද එම ලිපියේ සඳහන් කර තිබේ. 

අදාල ලිපිය පහතින් දැක්වේ.,